ඉතිහාස ගත වන පසමිතුරු සටන - 15 තරගයට මෙරට සූදානම

ඉතිහාස ගත වන පසමිතුරු සටන - 15 තරගයට මෙරට සූදානම

February 12, 2026   05:08 pm

දින ගණනක් පුරා පැවති ආන්දෝලනාත්මක අර්බුදයකට අවසානයක් ගෙන එමින්, ඉන්දු-පාකිස්තාන විස්සයි20 ලෝක කුසලාන තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිකට්වලින් ඔබ්බට ගිය තරගයක්

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම අවධානය දිනාගත් තරගය බවට පත්වූයේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගයයි. 

ක්‍රිකට් ලෝකයේ “පසුමිතුරු තරගය” ලෙස හැඳින්වෙන මෙම සටන, ක්‍රීඩා පිටියට සීමා නොවූ දේශපාලනික, ආරක්ෂක හා වාණිජ පසුබිම් සමඟ ගැටුණු අර්බුදයකට ද මැදි විය.

2007 වසරේ විස්සයි20 ලෝක කුසලානය ආරම්භ වූදා සිට මේ දක්වා දෙරට අතර විස්සයි20 තරග 16ක් පැවැත්වී ඇත. 

එම තරගවලින් 12ක් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. 

එක් තරගයක් ජය-පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර, තරග 3ක් පාකිස්තානය ජයගෙන තිබේ. 

එළැඹෙන 15 වැනිදා පැවැත්වෙන තරගය දෙරට අතර 17 වැනි විස්සයි20 සටන වේ.

මෙවර ඉන්දු - පාකිස්තාන තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායම සහ  පාකිස්තාන කණ්ඩායම තරග දෙකකදී මුහුණට මුහුණ හමුවී ඇත.

එම තරග දෙකම ජය ගෙන ඇත්තේ, ඉන්දීය කණ්ඩායමයි. 

අර්බුදයේ ආරම්භය

කණ්ඩායම් 20ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින මෙවර ලෝක කුසලානයේ A කාණ්ඩයෙන් ඉන්දියාව හා පාකිස්තානය තරග වදින අතර, ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත මෙම තරගයට සහභාගි නොවන බව පාකිස්තානය පසුගියදා නිවේදනය කිරීමත් සමඟ අර්බුදය ආරම්භ විය.

එම තීරණය ක්‍රීඩා ක්ෂේත්‍රය පමණක් නොව, රූපවාහිනී විකාශන අංශ, අනුග්‍රාහක ව්‍යාපාර සහ සංචාරක කර්මාන්තය ද බලපෑමට ලක් කළේය. 

විශාල ආර්ථික වටිනාකමක් හිමි තරගයක් නොපැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි පාඩු පිළිබඳ දැඩි කතාබහක් මතුවිය.

ශ්‍රී ලංකාවේ මැදිහත් වීම

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් සභාපති මොෂින් නක්වි වෙත ලිපියක් යවමින් තීරණය වෙනස් කරන ලෙස ඉල්ලීමක් කළේය. 

එහිදී ශ්‍රී ලංකාව අසීරු අවස්ථාවල පාකිස්තානයට දැක්වූ සහයෝගය සිහිපත් කරමින්, මෙම තරගය නොපැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සංචාරක කර්මාන්තයට සිදුවිය හැකි හානිය ද අවධාරණය කර තිබුණි.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයාද ක්‍රීඩාවේ නාමයෙන් තරගයට සහභාගි වන ලෙස පාකිස්තානයෙන් ඉල්ලීමක් කළේය.

අවසානයේ, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා අතර පැවති දුරකථන සංවාදය අර්බුදය විසඳීමට මූලික විය. 

1996 ලෝක කුසලාන සමයේදී පාකිස්තානය ශ්‍රී ලංකාවට දැක්වූ සහාය මෙන්ම, මෑත අසීරු අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට දැක්වූ සහයෝගය ද එහිදී සිහිපත් කර තිබුණි.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, රටක් ලෙස දිට්වා ව්‍යසනයෙන් පසු නැවත නැගී සිටින මෙම අවස්ථාවේදී ඉන්දු–පාකිස්තාන තරගය පැවැත්වීම ශ්‍රී ලංකාවට සංචාරක, ආර්ථික හා වාණිජ වශයෙන් වැදගත් වන බවයි.

තීරණයේ හැරවුම් ලක්ෂ්‍යය

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා අතර පැවති දුරකථන සංවාදයෙන් පැය කිහිපයකින් පාකිස්තාන රජය නිවේදනයක් නිකුත් කරමින්, බහුපාර්ශ්වීය සාකච්ඡා සහ මිත්‍ර රටවල ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව පෙබරවාරි 15 වැනිදා ඉන්දියාව සමඟ තරගයට සහභාගි වන්නැයි ජාතික කණ්ඩායමට උපදෙස් ලබා දුන් බව ප්‍රකාශ කළේය.

එම තීරණය ගනු ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් බවද සඳහන් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සමාජ මාධ්‍ය ඔස්සේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය.

නැරඹීමට ඇති උනන්දුව

ඉන්දු - පකිස්ථාන ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර මිල දී ගැනීම සඳහා ප්‍රේක්ෂකයින් අතර පවතින්නේ දැඩි උනන්දුවකි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරගය නැරඹීමට හැකියාව ඇත්තේ, ප්‍රේක්ෂකයින් 28,000කට පමණි.

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ප්‍රේක්ෂක අවධානය හිමිව ඇති ඉන්දු - පකිස්ථාන තරගය වෙනුවෙන් ICC වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන්ව ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගයට නැරඹීමට ඉන්දියාවේ සිට මෙරටට ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු ද ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

විශේෂයෙන්ම ඉන්දියාවේ සිට කොළඹට වෙත පැමිණෙන ගුවන් ගමන් සඳහා ටිකට් මිල සාමාන්‍යය මිලට වඩා තුන් ගුණයකට ආසන්න ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මුම්බායි, දිල්ලි සහ චෙන්නායි වැනි නගරවල සිට කොළඹ වෙත පැමිණි ගුවන් මගීන්ගේ සෑම කාණ්ඩයකම සෘජු ගුවන් ගමන්වල ටිකට් පත් මිලද සාමාන්‍ය මට්ටම ඉක්මවා ඉහළ ගොස් ඇති බවය.

ආරක්ෂාව සහ සැලසුම්

තරගය සාර්ථකව පැවැත්වීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. 

පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති අතර, විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තරගය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, 

"කලාපයේ පවතින විවිද ප්‍රශ්න මැද මේ ඉන්දු - පකිස්තාන තරගය නොපැවැත්වීමේ තත්ත්වයක් තමයි තිබුණේ. මේකට රජය හැටියටත් පහුගිය දවස් කීපය පුරාවටම විවිධාකාර මැදිහත්වීම් සිදුකරා. එහි අවසන් ප්‍රතිඵලය හැටියට අපිට දැන් මේ තරගය පවත්වන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. 

විශේෂයෙන්ම මේ වෙලාවේ ICC එක සහ අපේ ක්‍රිකට් ආයතනය වගේම මැදිහත් වෙච්ච කණ්ඩායම් කිහිපයක්ම හිටියා. ජනාධිපතිතුමා පාකිස්ථාන අගමැතිතුමා එක්ක දුරකතනයෙන් මේ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවක් කළා. ඒ පිළිබඳව පාකිස්තාන රජයත් මේ පිළිබඳව නිල වශයෙන් දැනුම්දීලා තිබෙනවා... රටක් හැටියට අපි සතුටු වෙනවා මේ දෙරට අතර තරගය ලංකාවේ පවත්වන්නට හැකි වීම ගැන. අනිත් පැත්තෙන් කලාපයේ රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේදී ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගෙන රටවල් අතර මිත්‍රත්තවය, සහයෝගීතාවය වර්ධනය කිරීමේදී රටක් හැටියට අපිට මැදිහත් වීමට යම් හෝ අවස්ථාවක් ලැබෙනවානම් ඒක රජයක් හැටියට නොපිලිහෙළා ඉටු කරන්න අපි කටයුතු කරනවා. අපි ඒ සියලු කණ්ඩායම්වලට ආරාධනා කළේ ආරක්ෂාව සම්බන්ධව වගකීම අපි අරගෙන. උපරිම ආරක්ෂාව අපි ලබා දෙනවා.

පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. මම හිතනවා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරගය නරඹන්නට පැමිණෙන්නට අපේක්ෂාවෙන් ඉන්නවා ඇති ඒ ගැනත් හිතලා තමයි විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ."

ක්‍රීඩාවෙන් මිත්‍රත්වයට

පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී දෙරට අතර උණුසුම් සිදුවීම් මතුවූ පසුබිමක, මෙවර තරගය තවත් විශේෂ අවධානයක් දිනාගෙන ඇත. කෙසේවෙතත්, අවසානයේ ජයගත්තේ ක්‍රීඩාවේ ආත්මයයි.

එබැවින්, පෙබරවාරි 15 වැනිදා රාත්‍රී 7ට කොළඹදී පැවැත්වෙන මෙම තරගය ක්‍රිකට් ඉතිහාසයේ තවත් සුවිශේෂී අධියරයක් පමණක් නොව, කලාපීය සහයෝගීතාවයේ සංකේතයක් ලෙසද සටහන් වනු ඇත.