පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි
February 9, 2026 12:44 pm
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ, අදාළ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 06ක් අද (09) විභාගය සඳහා කැඳ වූ අවස්ථාවේදීය.
මේ පිළිබඳව මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබාදී ඇත.
ඒ අනුව ලැබෙන අදහස් හා යෝජනා නීතිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා යන පාර්ශ්ව නම් කරනු ලබන විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් විසින් සලකා බැලීමට නියමිතය.
අතිරේක සොලිසිටර් ජනරාල් වරයා එහිදී මෙම පෙත්සම්කරුවන් සිය පෙත්සම් තුළින් ඉදිරිපත් කරන කරුණු ද සලකා බැලීමට නියමිත බවත් සඳහන් කළේය.
ඉන් අනතුරුව එම විශේෂඥ කමිටුව විසින් අදාළ පනත් කෙටුම්පතට සිදු කළ යුතු සංශෝධන අඩංගු වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරි කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා අපේක්ෂා කරන බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.
මෙම කරුණු ඇතුළත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් නීතිපතිවරයා වෙත ඒවා තිබූ ලිපියක් ද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් අධිකරණයට දැනුම් දුන්හ.
ඒ හේතුවෙන් අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
