මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි 5ක් රෝහලට
February 1, 2026 03:35 pm
අනුරාධපුර ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ දී අද (01) අලුයම 5ට පමණ සිදු වූ රිය අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
තිරප්පනේ පොලීසිය සඳහන් කළේ මොටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති බවය.
අනුරාධපුර නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා යළි නිවෙස් බලා එමින් සිටි තරුණයන් සිව්දෙනෙක් ගමන්ගත් මෝටර් රථයක් හා කැලණිය සිට අනුරාධපුර වන්දනා කිරීමට පැමිණි එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මෙලෙස එකිනෙක ගැටි ඇති බව සඳහන් වේ.
අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වූ බැවින් අනුරාධපුර සිට පැමිණි මෝටර් රථයට වේගය පාලනය කිරීමට නොහැකිව දකුණු පසින් ධාවනයවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අනතුරින් අනුරාධපුර සිට පැමිණි මෝටර් රථයේ රියදුරු ඇතුළු එහි ගමන්ගත් සිව්දෙනා සහ අනෙක් මෝටර් රථයේ ගමන් ගත් එක් අයෙකු මෙලෙස රොහල්ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෝටර් රථ දෙකෙහිම ඉදිරිපස කොටස්වලට අනතුරින් බරපතළ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
