දිට්වා නිසා විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවන හැටි කර්මාන්ත නි.ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

දිට්වා නිසා විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවන හැටි කර්මාන්ත නි.ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

January 31, 2026   10:04 am

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

කොළඹ වරාය නගරයේ පැවති ප්‍රදර්ශනයකට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම ව්‍යසනයෙන් විනාශ වූ කර්මාන්තවලට සිදුවූ සම්පූර්ණ අලාභය පියවීමට රජයට සෘජු ක්‍රමවේදයක් නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චතුරංග අබේසිංහ මහතා කියා සිටියේ, බිඳවැටුණු කර්මාන්ත සඳහා ණය පහසුකම්, ණය ගෙවීම් සඳහා සහන කාලයක් ඇතුළු විවිධ ආකාරයේ සහාය ලබා දී ඇති බවයි.

නැවත ගොඩනැගීමට අවශ්‍ය කර්මාන්ත සඳහා කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත්වී විශේෂයෙන්ම මහා පරිමාණ කර්මාන්ත 200කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, සිදුවූ අලාභය සම්පූර්ණයෙන්ම පියවීමට හැකි ක්‍රමවේදයක් නොමැති බැවින්, රක්ෂණ ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබා දීම, නැවත ගොඩනැගීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාදීමට මැදිහත්වීම වැනි කාර්යයන් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සිදුකරමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කර්මාන්තවලින් සියයට 95කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට නැවත තම නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත්, ජනවාරි මාසය වනවිට බහුතර කර්මාන්ත සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.