නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

January 22, 2026   05:04 pm

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (21) කොළඹදී පවත්වා තිබේ. 

අදාළ සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයට ආරාධනා කළ ද ඔවුන් ඊට සහභාගී නොවූ බව සඳහන්. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ පක්ෂ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා ඇතුළු පිරිසක් අදාළ සාකච්ඡාවට එක්ව ඇත. 

මේ සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතාව විසින් වත්මන් ආණ්ඩුවට බලය ලබාදී ඇති බවය.

"ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තනි පුද්ගලයින්ට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුව සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්. එහි ප්‍රධාන මූලධර්මයක් හැටියට අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීම අඩංගුවී තිබෙනවා. 

විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ඒ කුළුණු තුන. අපි විශ්වාස කරනවා. ස්වාධීන මාධ්‍යයත් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ප්‍රධාන කුළුණක්.  බලය බෙදීමේ ප්‍රතිපත්තිය තුළ  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ක්‍රියාත්මත විය යුතු වැඩපිළිවෙලක්."

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය

"මේ රජය බලයට පත් වෙනකොට, මේ ජනාධිපතිවරයා බලයට පත්වෙන කොට අපිට දුන්න පොරොන්දුවක් තමයි වහාම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙන බවට.

අපි සියලු දෙනාම සහයෝගය ලබා දෙනවා, මේකට බාධා කරන්න බලාපොරොත්තුවක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් හිටියේ, ඒ ස්ථාවරයේ. දැන් මේ ආණ්ඩුවටම තියෙනවා තුනෙන් දෙකක බලයක්.ඊට වැඩි සහායක් විරුද්ධ පක්ෂය විදිහට අනිත් හැමෝම ලබාදෙයි."

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා සුදුසුම කාලය මෙය බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය පැවසීය. 

"මම නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය තමයි 1978දී පවතින විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කළේ. මේවා ඉදිරිපත් කළයින් පස්සේ තමයි ඇතැම් අඩුපාඩුකම් දැකගන්න පුළුවන් වෙන්නේ. 1994දී දින 100කින් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියූ ජනතා විමුක්ති පෙරමුණ, හැම මැතිවරණයකදීම මේ කතාව අරන් ආවා. එ් පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහි වෙද්දීත් ඒක තමයි අරන් ආපු කතාව. එගොල්ලන්ගේ යුතුකම තමයි මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හරි නැත්නම්. දුර්වල නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පසුබිම හරි ගස්සලා. අවුරුදු දෙක තුනක් ඉන්න ඕනේ නැහැ. එයාලාට දක්ෂ කණ්ඩායමක් ඉන්නවා කියනවානේ. එයාලාට පුළුවන් මේක ඉක්මනින් ඉවර කරන්න."