කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්
January 19, 2026 04:32 pm
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ජනවාරි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කළේය.
ඒ සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා ඉවත්කර ගැනීම නීතිපතිවරයා සහ ත්‍රිකුණාමලය වරාය පොලීසිය ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලකට අදාළ නඩුව ඉකුත් ජනවාරි 14 වනදා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.
එහිදි එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටි සැකකරුවන් 11 දෙනා අතරින් 09 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.
එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.
එහිදි ත්‍රිකුණාමලය පොලීසිය සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවරස ඉදිකිරීම් යන චෝදනා යටතේ කරුණු දක්වා තිබු අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර තිබූ අතර පසුව එය තාවකාලිකව නවතා තිබුණි.
එවන් පසුබිමක අදාළ නඩුව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීය.
එහිදි රක්ෂිත බන්ධනාගාරගත කර සිටී භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 09 දෙනා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර තවත් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.
එහිදි සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය නියෝජනය කරමින් සැකකාර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කියා සිටියේ ප්‍රශ්නගත බුදු පිළිම සිදුවීමට අදාළව මුල් අවස්ථාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප දිය හැකි චෝදනා ඉදිරිපත් කර තිබුණද, පසුව ද්වේශ සහගත ලෙස ඇප ලබාදීමේ බලය නොමැති වෙරළ සංරක්ෂණ පනත යටතේ වන චෝදනා ඉදිරිපත් කර ඇති බවය.
කෙසේ වෙතත් පෙර නඩුවාරයේ නීතිපතිවරයා කළ යෝජනාව වූ ප්‍රශ්නගත බුදුපිළිමයේ ආවරණය ලෙස පවතින ඉදිකිරීම ඉවත් කරන්නේනම් වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇති චෝදනා ඉවත් කළ හැකි බවට වූ මතය අනුව යමින් එම ආවරණය ඉවත් කිරීමට තමන් සූදානම් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේය.
එබැවින් වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇති චෝදනා ඉවත්කර සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මෙහිදි ත්‍රිකුණාමලය වරාය පොලීසිය ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ තමන්ට එරෙහිව ඉහළ අධිකරණ හමුවේ ගොනුකර ඇති රිට් සහ මූලික අයිතිවාසිකම් නඩු ඉවත්කර ගන්නාතුරු සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ ගොනුකර ඇති චෝදනා ඉවත්කරගත නොහැකි බවය.
එහිදී රජයේ නීතිඥවරයාද කියා සිටියේ අදාළ රිට් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුකර පිළිබඳ තමන් වැඩිදුර අධ්‍යයනය කළ යුතු බවය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා සැකකාර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ සිව්දෙනා සහ සෙසු සැකකරුවන් හයදෙනා ජනවාරි 28 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
