පාසල් ඇරඹුණත් 6 ශ්‍රේණියේ සිසුන්ට ගැටලුවක්

පාසල් ඇරඹුණත් 6 ශ්‍රේණියේ සිසුන්ට ගැටලුවක්

January 5, 2026   11:51 am

2026 වර්ෂය සඳහා අද (05) පාසල්වල කටයුතු ආරම්භ කිරීමත් සමග හය ශ්‍රේණියට අදාළ සිසු සිසුවියන් ද පාසල්වලට පැමිණෙන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු විධිමත් සැලැස්මක් රජය විසින් හඳුන්වා දී නොමැති බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.

විධිමත් ලෙස හය ශ්‍රේණිය ආරම්භ කරනු ලබන්නේ 21වනදා බවට රජයේ පාර්ශවයෙන් සඳහන් කර ඇති අතර ඔවුන්ට 21වනදා දක්වා සිදු කිරීමට අධ්‍යනය කටයුතු නොමැති වීම හරහා ගුරුවරු සහ විදුහල්පතිවරු යම් අපහසුතාවයකට ලක්ව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

පාසල් ආරම්භ කරන දිනය වනවිට රජයෙන් පාසලකට ලබා දියයුතු ලිපි ලේඛන ප්‍රමාණයක් ඇති බවත් නාමලේඛනය ඉන් ප්‍රධාන වන බවත් ඉතිහාසයේ පළමු වරට පාසල  ආරම්භ කරන දිනය වනවිටත් 2026 වර්ෂය සඳහා නාමලේඛන ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම එහිදී අදහස් දක්වමින් ලේකම්වරයා පවසා සිටියේ මතභේදයට ලක්ව ඇති හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මොඩියුල් සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් පවතින අතර මොඩියුල් රචනා කිරීම සඳහා තෝරගත්තේ සුදුසුම කණ්ඩායමක් ද යන්න ඉන් ප්‍රධානතම ගැටලුව වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා,

''ප්‍රශ්නගත මොඩියුලර් සම්බන්ධයෙන් රජය අරගෙන තියෙන විසඳුම තමයි පිටු ගලවන එක. දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලාවල සාමාන්‍ය පුරවැසියෝ මේ මොඩියුල් නිරීක්ෂණය කරලා, ඒවායේ තියෙන අඩුපාඩු තොග පිටින් ලියමින් ඉන්නවා. දැන් ඇතැම් තැන්වල ව්‍යාකරණ වැරදි එක ම මොඩියුලයක් ඇතුළේ විශාල ප්‍රමාණයක්, සිය ගණනක් සටහන් කරලා තියෙනවා අපි දැක්කා. එතකොට අපි අහනවා, දැන් මේ වාගේ තවත් මේ මොඩියුල් සම්බන්ධව ප්‍රශ්න ආවොත් ඒ පිටුත් ගලවනවා ද ප්‍රශ්නගත පිටුව ගලවනවා නම් ඊළඟට ප්‍රශ්නයක් ආවහම ඒකටත් තියෙන ආණ්ඩුවට විසඳුම පිටු ගලවන එකනේ. එතකොට දැන් ප්‍රශ්නගත විතරක් පිටු ලක්ෂ අටක් ගලවන්න තියෙනවා. ඒක කවුරු කරනවද? කොහොම කරනවද? කියලා අපි දන්නෑ. එතකොට එක පැත්තකින් පිටු ගලවලා වැඩකුත් නෑ. මොකද මේකේ පී. ඩී. එෆ්. එක එළියේ තියෙනවා. එතකොට දැනගන්න ඕන හැමෝම දැන් මේවා දැනගෙන ඉවරයි. පිටු ගැලෙව්වා කියලා කිසිම දෙයක් වෙන්නේ නෑ. කිසිම තේරුමක් නෑ. ඊළඟට තවදුරටත් මොඩියුල්වල ප්‍රශ්න සහගත දේවල් තිබුණොත් ඒවායෙත් පිටු ගලවන එකද ආණ්ඩුවේ විසඳුම කියලා අපි දැනගන්න කැමතියි.''