මේ වසරට වෙඩි තැබීම් 114ක් - ජීවිත 60ක් අහිමි වෙයි
December 31, 2025 04:09 pm
මෙම වසර අවසන් වීමට තවත් හෝරා කිහිපක් පමණක් ඉතිරිව තිබියදී පැය 08ක් තුළ දිවයිනේ ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම් 02ක් සිදුවුණි.
ඒ අනුව මෙම වසරේ වෙඩි තැබීමේ සිද්ධීන් 114ක් වාර්තා වී ඇති අතර එහදී පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් ඇත.
තවත් පුද්ගලයන් 57 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
ඊයේ (30) දිනයේ සිදු වූ මෙම වෙඩි තැබීම් දෙකම අපරාධ කල්ලි සාජිකයින් විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 10.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩිතැබීමෙන් අනතුරුව වෙඩික්කරු පලායන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දැරියක් මේවන විට රෝහලගතව ප්‍රතිකාර ලබයි.
වෙඩික්කරුට සිය ඉලක්කය වැරදී ඇයට වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ තරුණිය පදිංචි නිවස අසල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙක් සිටින අතර බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වයේ අයෙකුවන ඔහු මේවන විට බන්ධනාගාරගතව සිටින බවය.
ඉකුත් 22 වනදා නුගේගොඩදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයා ආධාර අනුබලදී ඇති බවට බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වයේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන අවිශ්ක ඒෂාන් නැමැත්තා සැකකිරීම මත ඔහුගේ මව හා මස්සිනා ඉලක්ක කර ඊයේ වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී වෙඩික්කරුවන් අසභ්‍ය වචනයෙන් බැණවැදී "බඩෝවිට උන්ට තොපි තමයි තොරතුරු දෙන්නේ" යනුවෙන් පවසා ඇති බව වාර්තා වේ.
එම පුද්ගලයා කලක් ඒෂාන් නැමැත්තාගේ පාර්ශ්වය සමග සිට පසුව එම පාර්ශ්වයෙන් ඉවත්ව ඔහුන්ගේ ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු බඩෝවිට අසංකට ලබා ඇති බවද පොලීසිය සඳහන් කළේය.
මේ අතර කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැදවියෙකුට අද (31) උදෑසන නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, දිලිප් චතුරංග නොහොත් රජවත්තේ චතුවා නැමැත්තා බව පොලීසිය පැවසුවේය.
ඔහු ඉකුත් 13වනදා මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.
ඒ අනුව කළුතර බන්ධනාගාරයේ රඳවා තැබුණු ඔහු ඉකුත් 29 දා බන්ධනාගාර රැදවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව රෝහල් ගතකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
රිවෝල්වරයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර වෙඩික්කරු පලාගොස් තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කළුතර නවීන් නම් අපරාධකරුගේ පාර්ශ්වයේ අයෙක්වන අතර වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ උදරයට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.
