ආපදාවෙන් පීඩා වූ පවුල්වලින් 87%කට රු. 25,000 දීමනාව ලබාදී අවසන්
December 30, 2025 09:17 pm
'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව රුපියල් විසි පන්දහසක දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූවන්ගෙන් සියයට 87කට වැඩි පවුල් ප්‍රමාණයකට දැනටමත් දීමනා ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දීමනා ගෙවීම් කිහිපයක් නිම කිරීමට බලාපොරොත්තු වන බවය.
දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවටපත්වූවන් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදය යටතේ රුපියල් 25,000ක (විසි පන්දහසක) දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ පවුල් 450,225ක ප්‍රමාණයෙන් 87.4%ක පිරිසකට එම මුදල ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එමෙන්ම රුපියල් 50,000ක දීමනාව සඳහා සුදුසුකම්ලබා ඇති පවුල් 153,593ක ප්‍රමාණයෙන් 8.63%ක් සඳහා අදාළ දීමනාව ගෙවා අවසන්ය.
එසේම පීඩාවටපත් පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 15,000ක දීමනාව
ලබාගැනීමට සුදුසුකම් ලැබූ දරුවන් 216,142ක ප්‍රමාණයෙන් 14.9%ක ප්‍රමාණයක් සඳහා එම දීමනාව ලබාදීමට හැකිවී ඇතැයි එම අමාත්‍යංශය පවසයි.
