තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්

තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්

December 12, 2025   08:34 pm

මෙම වසරේදී මෙන්ම පසුගිය වසරේදී මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයාගත් දේපල තහනම් කිරීමටත් එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා වූ මූලික පියවර මේ වන විට ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (12) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුගිය සහ මෙම වසර දෙක ඇතුළත රත්‍රං පවුම් 354ක්, වාහන 77ක්, මුදලින් රුපියල් තිස් පන් කෝටියක්, රුපියල් එක්කෝටි එකසිය හයක වටිනාකමකින් යුත් දේපොළ රැසක්ද රජය සතු කර ගැනීමට මූලික ක්‍රියාමාර්ග මේ වන විට ලබා ගෙන ඇති බවය.  

එහිදී 2024 වසරේදී රත්‍රං පවුම් 150ක්, වාහන 64ක්, මුදලින් රුපියල් කෝටි 6ක්, සහ රුපියල් කෝටි 61ක දේපොළ රජය සතු කර ගැනීම සඳහා තාවකාලිකව තහනම් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

එමෙන්ම මෙම වසරේදී රත්‍රං පවුම් 204ක්, වාහන 13ක්, රුපියල් හැට හත් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඉඩම් සහ දේපොළ සහ නිවාස 18ක අනීතිකව උපයා ගත් දේපොළ රජය සතු කර ගැනීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.