ආපදා නිසා ගඩොල් කර්මාන්තයත් අනතුරේ - කර්මාන්තකරුවන්ගෙන් මැසිවිලි
December 9, 2025 01:55 pm
දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක අම්පාර, සේනානායකපුර ගඩොල් කර්මාන්තය පසුගිය දිනයන්හිදී පැවතී ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව තිබේ.
ජල ගැලීම්වලට ලක්වීම හේතුවෙන් තමන් මේ වනවිට දැඩි ලෙස අසරණ බවට පත්ව සිටින බව අම්පාර, සේනානායකපුර ප්‍රදේශයේ ගඩොල් නිෂ්පාදකයින් පවසයි.
එහි අක්කර 200ක පමණ සිදුකෙරෙන ගඩොල් කර්මාන්තය හරහා 3,000කට ආසන්න පිරිසක් ජීවිකාව සපයා ගනු ලබයි.
කෙසේ වෙතත් පසුගිය ගංවතුරින් තමන් නිෂ්පාදනය කර තිබූ ගඩොල් ලක්ෂ ගණනක් මෙන්ම ගඩොල් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක්ද ජලයේ ගසා ගෙන ගොස් ඇති බව කර්මාන්තකරැවන් සඳහන් කරයි.
පීඩාවට පත්ව සිටින ගඩොල් කර්මාන්තකරුවන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය..
"අපේ තිබුණු සියලුම දේපල ඒ කියන්නෙ එදිනෙදා වාඩියේ උයන් කන හට්ටි වලන් පවා ගහගෙන ගිහින් තියෙන්නේ. පොල්කටු හැන්දක්වත් අපිට නැහැ. ඒ නිසා අපිටත් අනිත් අය වගේම අපි ගැනත් පොඩ්ඩක් කාරුණික වෙලා බලලා යම් කිසි උදව්වක් උපකාරයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා"
"අපි අවුරුදු 15ක් 20ක් තිස්සේ මේකෙන් තමයි ජීවත් වෙන්නේ මගේ ගල් 15000ක් විතර විනාශ වෙලා තියෙනවා. ඇත්තටම අපි මේ රජයෙන් ඉල්ලන්නේ අපෙන් යැපෙන පවුල් 6ක් 7ක් ඉන්නවා. ඒ මිනිස්සුත් අසරණයි මමත් අසරණයි.රජය මැදිහත් වෙලා අපිට බැංකු මාර්ගයෙන් හරි අපිට මේක ගොඩනගාගන්න අපට මොනම විදියකින් හරි සහනයක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ"
මේ අතර ගඩොල් කර්මාන්තකරුවන් පවසන්නේ තමන් මුහුණ දී සිටින තත්ත්වය සොයාබැලීමට මේ දක්වා කිසිදු බලධාරියෙකු හෝ නොපැමිණි බවයි.
"දැන් මේ වෙච්ච අලාභය කියන්න අපිට කිසිම කෙනෙක් නෑ. ග්‍රාමසේවකවත්, ප්‍රාදේශීය ලේකම්වත් කවුරුත් මෙතනට ආවේ නෑ"
"දැන් සතියක් දෙකක් වෙනවා කිසිම කෙනෙක් ආවේ නෑ. අපි යන්න යන්නේ මේ ඔක්කොම අතහැර දාලා"
