බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

December 8, 2025   09:01 pm

රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබාදීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව රජය ලබාදී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ සියලු ප්‍රතිසංස්කරණ මෙම දෙසැම්බර් 31දාට පෙර නිම කරන ලෙසත්, එම ප්‍රතිපාදන කිසිසේත් ආපසු  හරවා එවීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ජනතාවට සහන සැලසීමේදී සහ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ප්‍රතිපාදනවල කිසිදු හිඟයක් නොමැති අතර අවශ්‍යව ඇත්තේ මෙම හදිසි අවස්ථාවේ සීමා නොසළකා මනා සම්බන්ධීකරණයෙන් සියලු ආයතන තම වගකීම ඉටුකිරීම බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අද (08) පස්වරුවේ ඌව පළාත් පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 19,133කට අයත් පුද්ගලයන් 64,140ක් පීඩාවට පත්ව සිටිති. නිවාස 418කට පූර්ණ හානි සහ නිවාස 7,703කට අර්ධ හානි සිදුව තිබේ. 

හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය, විදුලිය, ජලය, සන්නිවේදනය, වාරිමාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය,  කෘෂිකර්මාන්තය යළි ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රය, මිරිදිය ධීවර කර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩසටහන් පිළිබඳ මෙහිදි ජනාධිපතිවරයා වෙන් වෙන්ව කරුණු විමසීය.

මාර්ග සංවර්ධනයේදී මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන මාර්ග ලෙස බෙදාවෙන් නොකර සියලු මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සමාන්තරව සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටින ලෙසද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ස්ථීර ප්‍රතිසංස්කරණ අවශ්‍ය සමස්ත මාර්ග පිළිබඳ ඇස්තමේන්තුවක් සකස් කර ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනවාරි මාසය වන විට එම කටයුතු ආරම්භ කිරීමට ප්‍රතිපාදන ලබාදිය හැකි බව සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු දිස්ත්‍රික්කයේ විදුලි සේවා සැපයුම්වලින් 90%ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙන බව සඳහන් කළ නිලධාරීහු ඉතිරි ඒවාද කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත්, දිස්ත්‍රික්කයේ ජල සැපයුම අවශ්‍ය පරිදි ලබා දීමට පියවර ගෙන ඇති බවත් පෙන්වා දුන්හ.

පාසල් යළි ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන් කඩිනමින් ගෙවා අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වගා බිම් අක්කර 6,711කට හානි සිදුව තිබෙන අතර අදාළ ගොවින් සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් වන්දි ලබා දී, යළි වගාව සඳහා යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. 

එමෙන්ම මහ කන්නය යළි අස්වැද්දිය හැකි අන්දමින් ගොවි බිම් සඳහා තාවකාලිකව හෝ ජල සැපයුම් ලබා දීමට කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලටද  පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබා දෙන රුපියල් 25,000ක දීමනාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව මෙම සතියේ කැබිනට් තීරණයකට එළඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

විනාශ වූ සහ හානි සිදු වූ නිවාසවලට වන්දි ලබා දීම සහ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

එමෙන්ම කඳවුරුවල ජීවත්වන ජනතාවගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

මෙම සියලු කාර්යයන්හීදී අසීමිත කැපවීමකින් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවට, රාජ්‍ය නිලධාරීන්ට සහ ජනතාවටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ස්තූතිය පළ කර සිටියේය.

බදුල්ල  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්  අමාත්‍ය සමන්ත විද්‍යාරත්න,බදුල්ල  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර,වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එච්.එම්.දිනිඳු සමන් හෙන්නායක, සංචාරක  නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් කුමාර , රවීන්ද්‍ර බණ්ඩාර,  සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් , අම්බිකා සාමිවෙල්, අජන්ත ගම්මැද්දගේ, චාමර සම්පත් දසනායක යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු පළාත් පාලන නියෝජිතයෝ, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, ‍බදුල්ල  දිස්ත්‍රික් ලේකම්  පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීහු සහ ආරක්ෂක අංශ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.