අමෙරිකාවේ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්

අමෙරිකාවේ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්

November 13, 2025   10:39 am

අමෙරිකානු ඉතිහාසය තුළ එරට රජයක් මුහුණපෑ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු සංශෝධිත වියදම් කෙටුම්පතකට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ කෙංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 222ක් දිනාගමිනි.

අනතුරුව එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය සඳහා යොමු කෙරුණු අතර ඊට ඔහුගේ අත්සන හිමිවීමත් සමඟ රජයේ වියදම් අකර්මණ්‍යවීම අවසන් විය.

අමෙරිකාවේ වත්මන් පරිපාලනය මීට මාස ඒකහමාරකට පමණ පෙර එරට රජයේ වියදම් කෙටුම්පත කොංග්‍රසයේ අනුමැතියට ඉදිරිපත් කළ නමුත් ඩිමොක්‍රොටික් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ඊට දැඩි විරෝධය පළකළේය.

ඒ හේතුවෙන් වියදම් කෙටුම්පත සම්මත වීම ප්‍රමාද විය. 

එය සම්මත කරගැනීමට අවස්ථා කිහිපයකදී ගත් උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන් දින 43ක් පුරා අමෙරිකානු රජයේ වියදම් කටයුතු මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය  වී තිබුණි.

මේ හේතුවෙන් එරට රජයේ සේවක වැටුප් ගෙවීමට පවා නොහැකිවූ අතර, දහස් සංඛ්‍යාත රජයේ සේවකයින් අනිවාර්ය නිවාඩු යවා ඉතිරි පිරිස වැටුප් රහිතව සේවයට කැඳවීමට රජයට සිදුවිය.

ඒ අනුව 670, 000කට ආසන්න රජයේ සේවකයින් අනිවාර්ය නිවාඩු යවා ඇති අතර තවත් 730, 000කට අධික පිරිසකට වැටුප් නොමැතිව සේවයේ යෙදීමට සිදුවූ බව සඳහන් වේ.

එම කාලය තුළ 20,000කට අධික ගුවන් වාර සංඛ්‍යාවක් අවලංගු වීම සහ ප්‍රමාද වීම් ද සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.