පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

November 12, 2025   12:11 pm

මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් නරක් වීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5,000ක් පමණ කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.

"වැලිගම වින්ට්" නමින් හැඳින්වෙන මෙම රෝගය "රේන්ද  මකුණා" යන නාමයෙන්ද හඳුන්වනු ලබන ආක්‍රමණික කෘමියෙකු බව මේ වනවිට හඳුනාගෙන ඇති බව සඳහන්ය.

දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,250ක් මෙම රෝගයට ගොදුරු වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේය.

"මෙම රෝගය නිසා මුළු දකුණු පළාතෙම තියෙන පොල් වගාවට අති බරපතළ  රෝග තත්ත්වයක් මේ ඇති වෙලා තියෙන්නේ. මේක දැන් අවුරුදු 15ක් තිස්සේ තියෙනවා මේ ප්‍රදේශයේ. නමුත් දැන් එ්ක රට ඇතුළට බෝවීම වළක්වන්න පුළුවන්කම ලැබිලා තිබිලා වුණාට, නමුත් දකුණු ප්‍රදේශයේ මේ රෝගය බරපතළ විදියට පවතිනවා. ඉතින් මේ රෝගය හැදුනහම ගසක් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් ඇතුළත ගස කුණු වෙනවා කියන්නේ ඒ ඵලදාව නැති වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගස මැරිලා යන තත්ත්වයට පත් වෙනවා. නමුත් ඒකට වඩා බරපතළ තත්ත්වය වෙන්නේ මේ රෝගය ගහකට හැදුනහම ඒ ගහෙන් තව ගස්වලට බෝ වෙනවා. කුඩා කෘමියෙක් විසින් මේ විසබීජය එක ගහකින් තව ගසකට පතුරවනවා. ඉතින් මේක පැතිරී යන බරපතළ රෝගී තත්ත්වයක්. ගස් මේ වෙනකොට තුන් ලක්ෂ විසිපන් දහසක් විතර කපා දමලා තියෙනවා. නමුත් තවත් ඉතිරි වෙච්ච ගස් තියෙනවා මාතර දිස්ත්‍රික්කයේ. දිස්ත්‍රික්කයේ රෝගය හැදුන ගස් 6,250ක් විතර තියෙනවා. එයින් ගස් 5,000ක් කපලා දාන්න තීරණය කළා."

මෙම රෝගය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙලෙස පොල්ගස් විනාශ කිරීමට පියවර ගෙන ඇති අතර මෙම රෝගය ඉන්දුනිසියාවේ සිට මුහුදු මාර්ගය හරහා පැමිණ ඇති බව සුනිමල් ජයකොඩි මහතා පැවසුවේය.