වන සුරැකුම මෙහෙයුම් ඒකකය හෙට සිට
November 2, 2025 02:51 pm
ශ්‍රී ලංකාවේ ස්භාවික වන සම්පත් ආරක්ෂා කර ගැනීම උදෙසා වන “වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය හෙට (03) දිනයේදී විවෘත කිරීමට නියමිතව තිබේ.
ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙනි.
පරිසර අමාත්‍යාංශය පැවසුවේ මෙම මෙහෙයුම් ඒකකය පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුතුව පිහිටුවීමට නියමිත බවය.
ඒ අනුව පරිසර අමාත්‍යාංශය පරිශ්‍රයේදී මෙම ඒකකය විවෘත වන අතර මෙම ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් මගින් සක්‍රීයව ක්‍රියාත්මක වන බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.
ලංකාවේ වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්රිත සිදුවන හානි තත්වයන් පිළිබඳ 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ මහජනතාවට මෙම මෙහෙයුම් ඒකකය වෙත තොරතුරු ලබා දීමේ අවකාශය පවති.
වැඩිවන, වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමත් එම අපරාධ මැඩලීමේ මෙහෙයුම් සිදු කිරීමත් මහජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව තොරතුරු ලබාදීමටත් හැකි පසුබිමක් සැකසීම සඳහා ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, වන ජීවී සංරක්ෂණ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නියෝජනය වන පරිදි, නිලධාරීන්ගෙන් සැදුම්ලත්ව මෙම මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක කරවීමට අපේක්ෂිතය.
මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ වනාන්තර සහ වනජීවීන් සුරැකීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ වන අපරාධ වැළැක්වීම හා මර්දනය කිරීම සඳහා කටයුතු කිරීම වන අතර මෙම ඒකකය වෙත ලැබෙන තොරතුරු අනුව අදාළ ප්‍රදේශයේ ආරක්ෂක අංශයන් සහ වනජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්ෂණික මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇත.
මෙම මෙහෙයුම් ඒකකය වෙත ලැබෙන දත්ත හා තොරතුරු ඒකාබද්ධ කිරීම සහ විශ්ලේෂණය කරමින් වන අපරාධ පිළිබඳ තොරතුරු එකම මධ්‍යස්ථානයක් හරහා රැස් කිරීම, වර්ගීකරණය කිරීම සහ විශ්ලේෂණය කිරීමත්, මෙම දත්ත උපයෝගී කර ගනිමින්, වන අපරාධ බහුල ප්‍රදේශ හඳුනාගෙන ඒවාට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සකස් කිරීම සිදු කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඵලදායී මෙහෙයුම් සම්බන්ධීකරණයක් ලෙස මෙම මධ්‍යස්ථානයේ සේවය සිදු වන අතර හදිසි අවස්ථාවලදී විශේෂයෙන් ගිනි තැබීම්, අනවසර දැව කැපීම්, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර සහ රක්ෂිතයන් ආශ්‍රිතව සිදුවන අපරාධයන්ට විරුද්ධව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය වන මානව සම්පත්, උපකරණ, තාක්ෂණය වඩාත් විධිමත් ලෙස යෙදවීමටත් මෙහි දී කටයුතු කරනු ඇත.
ඊට අදාළ නව්‍ය තාක්ෂණයන් වන ඩ්‍රෝන යානා, චන්ද්‍රිකා රූප, ජී.පී.එස්. වැනි නව තාක්ෂණය භාවිත කරමින් වනාන්තර කලාප නිරීක්ෂණය සහ අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කිරීමට ද කටයුතු කරන අතර මේ ඔස්සේ, වන අපරාධකරුවන් පිළිබඳව තොරතුරු රැස් කිරීමට සහ ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට අදාළ තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගැනීමත් සිදු වේ.
මෙම මෙහෙයුම් ඒකකය මගින් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සිදු වන අතරම වන අපරාධ මර්දනය සඳහා විශේෂිත කාර්ය සාධක බලකා ලෙස ක්‍රියා කිරීමේ හැකියාව වැඩි කිරීම මගින් වන අපරාධ සම්බන්ධ නඩු කටයුතු සඳහා අවශ්‍ය සාක්ෂි සහ තොරතුරු නිවැරදිව සහ කඩිනමින් සැපයීමත් සිදු කිරීමට අපේක්ෂිතය.
පරිසර පද්ධති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වනාන්තර ආවරණය ආරක්ෂා කිරීම ඔස්සේ අනවසර දැව කැපීම, ඉඩම් අල්ලා ගැනීම සහ වනාන්තර ගිනි තැබීම් වැනි ක්‍රියා කඩිනමින් නතර කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යාංශය අපේක්ෂා කර තිබේ.
එමෙන්ම සියලුම වන අපරාධ තොරතුරු එකම ස්ථානයක කේන්ද්‍රගත වීම සහ තාක්ෂණික අධීක්ෂණය හේතුවෙන්, අපරාධ සිදු වූ වහාම හෝ සිදුවීමට පෙර පවා හඳුනාගෙන කඩිනමින් ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබීමත්, විධිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් ඔස්සේ වන විනාශයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටීමෙන්, වන අපරාධකරුවන්ට තම ක්‍රියාකාරකම් පහසුවෙන් සිදු කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.
නව රජයේ පාරිසරික ප්‍රතිපත්තිය අනුව පරිසර සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා දැනට පනවා ඇති අණපනත්වල දුර්වලකම්, අඩුපාඩු, ඌනතාවන් ඉවත් කිරීම, ජාත්‍යන්තරය සමඟ එළඹි ගිවිසුම් හා ප්රඥප්තීන් හා දේශීය පාරිසරික නීති සමාලෝචනය, මහජන අදහස් හා යෝජනා සඳහා සහභාගීත්ව ප්‍රවේශ ක්‍රියාමාර්ග ගැනීම සහ අවශ්‍යතාව මත නව පනත් සම්පාදනය සඳහා ඒ ඒ ක්ෂේත්රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත කොමිසමක් ස්ථාපිත කිරීම මේ වන විටත් පරිසර අමාත්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් සිදු කරන අතර මෙම ප්‍රායෝගික ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා “වන සුරැකුම” ජාතික මෙහෙයුම් ඒකකය ද ආරම්භ වනු ඇත.
					