උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්
October 29, 2025 11:57 am
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන තිබේ.
පොලිස් මූලස්ථානයේ වගකිව යුතු ඉහළ තනතුරක් හොබවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මාරු කර යවමින් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යට ලබාදීම හා පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදී ඇති බවට වූ අනාවරණයක් මත පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.
මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට පවසන පුද්ගලයෙකු සමඟින් පොලිස්පතිවරයා සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කරන හඬපටයක් ද පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ද පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් හා අදාළ හඬපටයේ දුරකථන සංවාදය සිදුකළ බව කියන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්රියාකාරිකයෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
