කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදීත්

කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදීත්

October 2, 2025   09:42 am

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද සිට තරග කිහිපයක් මෙරට දී ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව අද (02) සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගය ආරම්භ වේ.

මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන අතර, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි දිග හැරුම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් සැප්තැම්බර් 30 වන දා ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණි.

එලෙස ඇරඹුන ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් මස 2වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේදී කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත අතර, ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4කදී සහ ශ්‍රී ලංකාවේදී එක් ක්‍රීඩාංගණයකදී තරගාවලියේ තරග ක්‍රියාත්මක වේ.

ලීග් ක්‍රමයට පැවැත්වෙන ලෝක කුසලාන මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 7කට මුහුණදීමට නියමිතය.

මෙවර තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග 7න් 5ක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග දෙකක් ඉන්දියාවේදී පැවැත් වේ.

රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණි.

මේ අතර, කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (01) රාත්‍රී 8.35ට පමණ මෙම කණ්ඩායම් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි අතර, ඔවුන්ව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.