වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට
September 26, 2025 08:54 pm
නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේදී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළේ යැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයට චෝදනා එල්ල වී තිබේ.
එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් සිදු කළේය.
නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණ වී නොමැති බවය.
නඩුව නැවතත් 2026 වසරේ පෙබරවාරි 27 වැනිදා කැඳවීමට නියමිතය.