අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂගෙන් පෙත්සමක්

අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂගෙන් පෙත්සමක්

September 26, 2025   03:02 pm

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේදී සිදුවී ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් සිදුකරන බව පැවසුවේය. 

තම සේවා දායකයා ඉකුත් 24 වනදා ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළට පැමිණි විගස එහි පැමිණි අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉහත විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ලිපියක් භාර දී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මීට අදාළව තම සේවාදායකයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත ඔහු මුදා හැරීමේ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ අපේක්ෂිත ඇප පෙත්සමේ වග උත්තරකරු ලෙස නම් කර තිබෙන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 02 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.