ඉන්දීය වාර්තාපොත් අලුත්කරමින් බිග් බෑෂ් ක්‍රීඩා කරන්න යන අශ්වින්

ඉන්දීය වාර්තාපොත් අලුත්කරමින් බිග් බෑෂ් ක්‍රීඩා කරන්න යන අශ්වින්

September 25, 2025   10:00 pm

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන 'බිග් බෑෂ්' ලීග් තරගාවලියේ එළැඹෙන අදියර සඳහා ඉන්දීය හිටපු තුන්ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන ඔහු සිඩ්නි තන්ඩර් සමගින් ගිවිසුම් අත්සන් තබා තිබේ.

ඒ අනුව ඉන්දීය ජාතික කණ්ඩායමක් නියෝජනය කර 'බිග් බෑෂ්' ලීග් තරගාවලියට ක්‍රීඩාකරන පළමු ඉන්දීය ක්‍රීඩකයා බවට අශ්වින් පත්වනු ඇත.

'බිග් බෑෂ්' ලීග් කාන්තා තරගාවලියට ඉන්දීය ක්‍රීඩිකාවන් ක්‍රීඩා කළද, එරට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට IPL හැරෙන්න කිසිඳු  ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගයක් ක්‍රීඩාකිරීමට අවසර නොමැත.

එසේ ක්‍රීඩාකරනවානම් ඔහු ඉන්දීය ක්‍රිකට්වලට සමුදිය යුතුය.

ඉන්දීය හිටපු 19න් පහළ නායක උන්මුක්ට් චන්ද් මෙන්ම එරට පළමුපෙළ ක්‍රීඩක නිඛිල් චෞද්‍රි දෙදෙනාම මෑත වසරවලදී බිග් බෑෂ් ලීග ක්‍රීඩාකර තිබේ.

කෙසේ නමුත් ඔවුන්ගෙන් චන්ද් මේ වනවිට ඉන්දියාව අතහැර අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ඇත.

එමෙන්ම චෞද්‍රි ද ඔස්ට්‍රේලියානු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාකරන අතර, ඔහු මෙම මාසයේ දී ටස්මේනියාව වෙනුවෙන් List A මංගල තරගයට ද ක්‍රීඩා කළේය.