එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

September 25, 2025   03:44 pm

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුකරවලදී ගෙවෙන ලෙස නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබලා ලබන ජනවාරි මස 26 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නීතිපතිවරයාට නියම කළේය.

වන්දි ගෙවීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.

මෙහිදී අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ විදේශීය සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය පෙරකලාසිය ඉවත් කරගන්නා බව අධිකරණයට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ඉන් අනතුරුව එම සමාගම වෙනුවෙන් නීතිඥ නියෝජනයක් අධිකරණය හමුවේ ඉදිරිපත් නොවුණි.

අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් පැවසුවේ අදාළ නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙස අදාළ නෞකාවේ විදේශීය සමාගම වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නියෝග කළ බවය.

එම වන්දි මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 250ක් සැප්තැම්බර් මස 23 වනදා හෝ ඊට පෙර ගෙවිය යුතු බවට නියෝග කර තිබුණත්, එම මුදල් මෙතෙක් ගෙවා නොමැති බවත් එම නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මේ තුළින් අදාළ සමාගම අධිකරණයට අපහාසයක් සිදු කර තිබෙන බවත්, පැමිණිල්ලක් නොමැතිව වුවද අදාළ සමාගමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කිරීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරයා, එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව සුදුසු නඩු විභාගයක් පවත්වා දඬුවම් පැමිණි විය යුතු බවත් කියා සිටියේය.

ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකාර සමාගම අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව සඳහන් කළාය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරුද  මෙම කරුණු වලට එකඟතාවය පළ කළහ.

ඉන් අනතුරුව අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ වන්දි මුදලින් රුපියල් මිලියන 300ක මුදලක් ගෙවා තිබෙන බව සඳහන් කළේය.

තම සමාගමට ගෙවිය හැකි මුදල එපමණක් බවත් ඊට වඩා වැඩි මුදලක් ගෙවීමට ඔවුන්ට මූල්‍ය හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

තම සේවාදායකයා අධිකරණයට අවනත වී අදාළ වන්දි මුදල් ගෙවීමට කටයුතු කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් අධිකරණයට අපහාසයක් කර නොමැති බවත් සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝග වලට අනුව වන්දි කොමිසම සහ පාරිසරික හානි ඇගයීමේ කොමිසම ස්ථාපිත කිරීමේ කටයුතු සිදුකෙරෙන බව සඳහන් කළේය.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශන කටයුතු සිදුකෙරෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තර කාර  සමාගම  අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අදාළ නෞකා අනතුරින් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිමය සීමාව තුළ තමන්ට හැකි උපරිම දේ සිදු කළ බවය.

ඉන් ඔබ්බට ගොස් මෙම වන්දි අය කර ගැනීමේ ක්‍රියාදාමය ඉටුකිරීම විධායකයේ වගකීමක් බව පෙන්වා දුන් විනිසුරුවරයා, වගඋත්තරකාර සමාගමේ අධ්‍යක්ෂවරු සිරභාරයට පත් කිරීමෙන් පමණක් මෙම ගැටළුවට විසැඳුම් නොලැබෙන බවත් පෙන්වා දුනි.