ෆොන්සේකාට එරෙහි සුදු කොඩිය කළුවෙයි-වසර 3ක සිරදඬුවම්..!

November 18, 2011   12:05 pm

සුදු කොඩි නඩුවට අදාළව වරදකරු වූ සරත් ෆොන්සේකා මහතාට වසර 3 ක සිරදඬුවමක් සහ රුපියල් 5000 ක දඩමුදලක් නියම කර තිබේ.

අදාළ නඩුව පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

අදාළ දඩමුදල නොගෙවන්නේනම් වසර 3 ට අමතරව තවත් මාස 6 ක් සිරදඬුවම දීර්ඝ කෙරෙන බව මහාධිකරණය තීන්දු කර තිබේ. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කළ මෙම තීන්දුවේ විනිසුරුවරුන් දෙදෙනකු සරත් ෆොන්සේකා මහතා වරදකරු බවට ප්‍රකාශයට පත් කර ඇති අතර එක් විනිසුරුවරයකු එකී තීන්දුවට එරෙහිව ෆොන්සේකා මහතා නිවරදිකරු බවට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ 2 ට 1 ක් ලෙස ෆොන්සේකා මහතා වරදකරු බවට තීන්දුවී තිබේ.

සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුවට චෝදනා 3 ක් ගොනුකර තිබුණු අතර එහි පළමු චෝදනාවට පමණක් වරදකරු ලෙස දීපාලි විජේසුන්දර මහත්මිය සහ සුල්ෆිකාර් රශීන් යන විනිසුරුවරුන් තීන්දුකර ඇති අතර ෆොන්සේකා මහතා අදාළ චෝදනා 3 ට නිවරදිකරු ලෙස ඩබ්ලිව්.එම්.පී.බී. වරාවැව විනිසුරුවරයා තීන්දු කර තිබේ. මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සුදුකොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව මෙලෙස අද ප්‍රකාශයට පත් කෙරිණි.

2009 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පත මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ආන්දෝලනාත්මක සුදුකොඩි ප්‍රකාශය වාර්තා කර තිබුණි.

භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් ඝාතනය කරන ලෙස ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා 58 වන සේනාංකාධිපති ලෙස එවකට කටයුතු කළ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බව සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ යැයි එම ප්‍රකාශ‍යේ දැක්විය.

අදාළ ප්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කළ අතර නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණි.

එහි සභාපති ලෙස දීපාලි විජේසුන්දර මහත්මිය පත් කෙරුණු අතර ඩබ්ලිව්.එම්.පී.බී. වරාවැව සහ සුල්ෆිකාර් රශීන් යන විනිසුරුවරුන් සෙසු සමාජිකයින්විය.

එම නඩුවේ පැමිණි‍ල්ලේ සාක්ෂි මෙහෙයවීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා විසින් සිදුකළ අතර විත්තිය වෙනුවෙන් නීතීඥ නලින් ලද්දු‍වහෙට්ටි මහතා පෙනී සිටියේය.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ‍ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදුන්හ.

ඊට අමතරව කරූ ජයසූරිය, අනුර කුමාර දිසානායක, මහාචාර්ය රජීව් විජේසිංහ යන මහත්වරු ද සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වූහ.

වසරකට අධික කාලයක් නඩුව විභාග වූ අතර ඒ අනුව එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද සිදුකෙරිණ.

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතාට එරෙහි තීන්දුව ලබාදීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ පරිශ්‍රය ආශ්‍රිතව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.

අධිකරණ පරිශ්‍රය ආසන්නයට විශාල පිරිසක් පැමිණ සිටින බව අද දෙරණ වාර්තාකරුවන් පවසයි.

මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියේ සහ හමුදාව යොදවා තිබේ.

කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමකට අනූව අදාළ ප්‍රදේශයේ නීති විරෝධී විරෝධතා හෝ රැස්වීම් පැවැත්වුවහොත් ඒවා විසිරවීමේ බලය පොලිසියට ඇති බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

දඩුවම් නියම කිරීමට පෙර අධිකරණය ඇමතූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා ඉල්ලා සිටියේ අදාළ චෝදනාව හදිසි නීතිය යටතේ ගොනුකර ඇති බැවින් ෆොන්සේකා මහතාට වසර 05ක සිරදඩුවමක් සහ රුපියල් 5,000ක දඩයක් නියම කරන ලෙසයි.

එහෙත් විත්තියේ නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ෆොන්සේකා මහතාගේ වසර 40ක හමුදා සේවය සලකා දඩුවම් ලිහිල් කරන ලෙසයි.

ඒ අනූව ෆොන්සේකා මහතාට වසර 03ක සිරදඩුවමක් සහ රුපියල් 5,000ක දඩයක් නියම කෙරුණි.

දඩුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශයක් කළ සරත් ෆොන්සේකා මහතා අදාළ තීන්දුව අසාධාරණ බව සඳහන් කළේය.

එම තීන්දුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.