සුදු කොඩි නඩුවේ රහස් පොලිස් පරීක්ෂකට අල්ලස් චෝදනා

October 4, 2011   05:45 pm

සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ රහස් පොලිස් පරීක්ෂකවරයාට අල්ලස් චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සමක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ ජා-ඇල ප්‍රදේශයේ පදිංචි කාමිණී ජයවර්ධන නැමති ඉඩම් නඩුවක පැමිණිලිකාරියක අධිකරණය හමුවේ පවසා තිබුණේ අදාළ නඩුව වාසිදායක ලෙස විසඳා දීමට නම් අදාළ ඉඩමෙන් පර්චස් 15ක් තමාට ලබා දෙන ලෙස පොලිස් පරීක්ෂකවරයා ඉල්ලා සිටි බවයි.

මෙම දිවුරුම් ප්‍රකාශය පිළිබඳ අදාළ පැමිණිලිකාරියගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

ඒ පිළිබඳව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අදාළ කාන්තාවට ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කියා සිටියි.