ෆොන්සේකා සිටින තැන එල්. ටී. ටී. ඊ සැකකරුවන් රඳවන්න එපා

September 9, 2011   01:00 pm

සුදු කොඩි නඩුවේ විත්තිකාර හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂා තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද(09) බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

වෙනත් බන්ධනාගාරවලින් එල්. ටී. ටී. ඊ සැකකරුවන් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇති බව අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥ නලින් ලක්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවෙහි කියා සිටියේය.

එමෙන්ම විත්තිකාර සරත් ෆොන්සේකා මහතා රඳවා ඇති ප්‍රදේශයේ එල්. ටී. ටී. ඊ සැකකරුවන් රැගෙන යන බවට ඔහු විසින් තොරතුරු ලබා දී ඇතැයිද විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවෙහි දැනුම් දී සිටියේය.

එම කරුණ පිළිගත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂා තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයා ජෙනරාල්වරයාට නියෝග කර ඇත.

එමෙන්ම සරත් ෆොන්සේකා මහතා රඳවා සිටින ප්‍රදේශයේ එල්. ටී. ටී. ඊ සැකකරුවන් රඳවා තැබීමෙන් වළකින ලෙස ද තවත් නියෝගයක් කොමසාරිස් ජෙනරාල්වරයා වෙත අධිකරණය විසින් නිකුත් කර තිබේ.