තැන තැන පැවති උත්සවවලට එල්ලවූ විරෝධය

තැන තැන පැවති උත්සවවලට එල්ලවූ විරෝධය

April 1, 2022   07:35 pm

වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ අද (01) පැවති උපාධිධාරීන්ට රැකියා පත්වීම් ලබාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබුණි.

නමුත් ජනතා විරෝධයක් එල්ලවන බවට වූ තොරතුරු මත ඔහු ඊට සහභාගී වූයේ නැත.

එම උත්සවයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පත්වීම් ලිපි ප්‍රදානය කර වෙනත් වාහනයකින් උත්සව භූමියෙන් පිටව ගොස් තිබුණි.

කෙසේවෙතත් චාමර සම්පත් දසනායක මහතා පැමිණි වාහනයට විරෝධතාකරුවන් බිත්තර ප්‍රහාරයක් එල්ල කළේය.

මේ අතර ජීවන වියදම ඉහළයෑමට විරෝධය පළකරමින් නුවරඑළියේ කාල්ටන් පෙර පාසල ඉදිරිපිටට පැමිණි ජනතාව ද විරෝධතාවක නිරත වී තිබුණි.

අනතුරුව, නුවරඑළිය ග්‍රෙගරි වැව ප්‍රදේශයේ පැවැත්වෙන වසන්ත උදානයේ සමාරම්භක උළෙලට පැමිණි ප්‍රදේශවාසීන් කලහකාරි ලෙස හැසිරී තිබේ.

විරෝධය හේතුවෙන් වසන්ත උදානයේ සමාරම්භක උළෙල නැවැත්වීමට සංවිධායකයින්ට සිදුවිය.