ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ලගෙන් ප්‍රශ්න කිරීම නිරෝධායනයෙන් පසු

ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ලගෙන් ප්‍රශ්න කිරීම නිරෝධායනයෙන් පසු

June 30, 2021   07:04 pm

විනය කඩකිරීමේ චෝදනාව මත කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහි විමර්ශනය ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසානයේ ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, තවමත් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවය.

“ඊයේ දිනයේ ඒ ක්‍රීඩකයින් එළියට ආවේ තවම නිරෝධායනය වෙනවා. ඒ ක්‍රීඩකයින්ටත් සාධාරණ අවස්ථාවක් දෙන්න ඕනේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඊට පස්සේ ඒ අවශ්‍ය තීන්දුව ක්‍රිකට් පාලක මණ්ඩලය හා ක්‍රිකට් කමිටුව විසින් ප්‍රකාශයට පත්කරයි.“

එංගලන්ත තරග සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කරමින් ඩරම් වීදියක සැරිසරන ආකරය දැක්වෙන විඩියෝවක් පසුගිය ඉරිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට යාමෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් ආසාදනය වූයේ නම් සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමම අවදානමකට ලක්වන අතර දැනට ක්‍රියාත්මක වන එංගලන්ත තරගාවලිය මෙන්ම ඉදිරියේදී ආරම්භ වන ඉන්දියා තරගාවලියටද එය අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ක්‍රීඩකයන් තිදෙනා වහාම යළි මෙරටට කැඳවූ අතර ඔවුන්ගේ නිරෝධායනය අවසන් වීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. 

එමෙන්ම දෙවැනි පෙළ ක්‍රීඩකයන් ගොඩනැගීම සඳහා සැලැස්මක් සකස් කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

“පසුගිය අවුරුදු 5 - 6ක සිට පසුපෙළ ක්‍රීඩකයින් ව නිර්මාණය කරේ නෑ අපේ රටේ. නැවත වතාවක් අපි අදාළ සංචාර ටික පටන් ගන්නවා. ඩිවලප්මන්ට් සංචාර ටික පටන් ගන්නවා. 19 පහළ සංචිතය දීර්ඝ කාලීන සැලැස්මකට ගෙනියනවා. 17 පහළ අය තමයි ඒකට ගන්න ඕනේ. මොකද අවුරුදු 2කට සැරයක් තමයි ලෝක කුසලානය එන්නේ. මේ ක්‍රමවේදය කඩා වැටුන නිසා තමයි අපිට මේ තත්ත්වය උදාවුණේ.“