මහර බන්ධනාගාර ගැටුම පිළිබඳව තවත් පිරිසකගෙන් ප්‍රකාශ ගනී

මහර බන්ධනාගාර ගැටුම පිළිබඳව තවත් පිරිසකගෙන් ප්‍රකාශ ගනී

December 9, 2020   09:31 am

මහර බන්ධනාගාර සිද්ධියට අදාළ නඩුව අද (09) දිනයේ යළි කැඳවීමට නියමිතව තිබේ.

ඊයේ (08) දිනයේ එම නඩුව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

අදාළ සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් විසින් සිදුකළ යුතු බවට ඊයේ දිනයේ අධිකරණයට කරුණු වාර්තා කෙරුණි.

ඒ අනුව එම කරුණු දැක්වීමට අදාළ තීන්දුව අද දිනයේ ලබාදීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.

මහර බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වු රැඳවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකුගේ අනන්‍යතාවය මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් 165කගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

බන්ධනාගාර නිලධාරින්, රැඳවියන්, වෛද්‍යවරුන් සහ හෙද නිලධාරින්ගෙන් එම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.