පාර්ලිමේන්තුවේ ඇති වු ගැටුම සැලසුම් සහගත ක‍්‍රියාවක්-රහස්‍ය වාර්තාවලින් හෙළි වෙයි

පාර්ලිමේන්තුවේ ඇති වු ගැටුම සැලසුම් සහගත ක‍්‍රියාවක්-රහස්‍ය වාර්තාවලින් හෙළි වෙයි

January 16, 2018   06:33 am

පාර්ලිමේන්තුවේ දී පසුගිය 10 වන දින ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සැලසුම් සහගතව සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව කතානායක කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය පෙන්වා දෙන්නේ එදින පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක් තිබූ බවට රාහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශයට ලැබී ඇති බවයි.

එම රාහස්‍ය වාර්තා කතානායකවරයාට ද ලැබී ඇති බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

බැඳුම්කර වාර්තාවේ පිටපත් එදින සභාවට නොලැබෙන බවට කතානායක කරු ජයසූරිය මහතා දැනුම්දුන් පසුවත් දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීකවරයා විසින් දිගින් දිගටම කතානායකවරයා වාර්තාව ලබාදීමට පොරොන්දු වූ බව පවසමින් අශෝබන ලෙස පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට බාධා කළ බව කතානායක කාර්යාලය පෙන්වා දෙයි.

අදාළ වාර්තා පිටපත් ජනවාරි මස 17 වන දින ලබාදෙන බවට ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවට කතානායකවරයා නිවේදන කළ ද  දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ උසිගැන්වීම් තුළ සභා ඝර්භයට පැමිණි මන්ත්රීතවරුන් විසින් කළින් සැලසුම් කළ ආකාරයට අගමැතිවරයාගේ කතාවට බාධා කරමින් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවුල් කිරීමට පියවර ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

එම නිසා පසුගිය 10 වන දින පාර්ලිමේන්තු සභා ඝර්භය තුළ ඇති වූ සිද්ධිය පදනම් කරගනිමින් මේ වන විට සමාජ ගත වෙමින් පවතින පදනම් විරහිත ද්වේශ සහගත අසත්‍ය චෝදනා පිළිබදව සිය කණගාටුව ප‍්‍රකාශ කරන බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.