සියලුම මගී ගුවන් යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ

සියලුම මගී ගුවන් යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ

March 22, 2020   12:21 pm

කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. 

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කියා සිටීයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මේ අතර, වෙළඳ නෞකාවල සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් මඟින් නව කොරෝනා වෛරසය රට තුළට ඇතුල්වීම වැලැක්වීම සඳහා නාවික හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.

එම නෞකාවල දේශීය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව නිර්මාණය කරන ලද ක්‍රියාදාමයක් අනුව නාවික හමුදාවේ පූර්ණ අධික්‍ෂණය යටතේ මෙය සිදු වෙයි.