කොරෝනා රෝගීන් දෙදෙනෙක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

කොරෝනා රෝගීන් දෙදෙනෙක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

March 22, 2020   08:25 am

COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් දෙදෙනෙකු මේ වන විට අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ටී.වි.දෙරණ ඔස්සේ විකාශය වු දෙරණ අරුණ වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු සඳහන් කළේ කොරෝනා ආසාදිතයින් හැත්තෑ හත් දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.

කෙසේවෙතත් ඇදිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ දිනයේ සිට නැගෙනහිර කොළඹ මූලික රෝහල සම්පුර්ණයෙන්ම කොවිඩ් නයින්ටින් ආසාදිතයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සදහා භාවිතයට ගන්නා බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම කොරෝනා සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගන්නා අතර ද සොයිසා සහ කාසල් වීදියේ කාන්තා රෝහල්වල වෛද්‍යවරුන් සේවා මුර අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර කටයුතු සදහා යොදා ගැණෙයි.

කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද වෛරස් රෝගීන්ට ප්‍රතිකාර සදහා යොදාගැනීමට නියමිතයි.

මීට අමතරව වොයිස් අමෙරිකා ආයතනයට අයත් ගොඩනැඟිලි සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට යුද හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කටයුතු සිදුකරයි.