තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වෙයි

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වෙයි

March 12, 2020   04:25 pm

නව කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නා ඇසුරු කළ තවත් පුද්ගලයෙකුට කොරෝනා රෝගය වැළදී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, වයස අවුරුදු 44ක්  වූ අදාළ පුද්ගලයා ද මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බවයි. 

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරමින් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයන් දෙදෙනෙකු අද අයි.ඩී.එච්. රෝහලට යොමුකෙරුණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ, මෙරටදී හඳුනාගත් දෙවැනි ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බවයි. 

එම පුද්ගලයා,  ඊයේ හඳුනාගත් කොරෝනා රෝගියා වන ජයන්ත රණසිංහ මහතා සමග නවාතැන් ගෙන සිට ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ මහතා ඉතාලි ජාතිකයින් තිදෙනෙකු සමඟ පසුගිය 3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබුණි.

52 හැවිරිදි මාර්ගෝපදේශකයා විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

කෙසේවෙතත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ පුතුට ද වෛරසය ආසාදනය වී ඇතැයි සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පදනම් විරහිත ප්‍රචාරයක් හේතුවෙන් විදුහලේ සිසුන්ගේ පැමිණීම සියයට 60 දක්වා අඩුවී තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ, ඇතැම් දරුවන් නියමිත වේලාවට පෙර  පාසලින් රැගෙන යාමට මව්පියන් කටයුතු කළ  බවයි.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකය මත පුද්ගලයින් දෙදෙනෙකු අද පෙරවරුවේ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණි. 

මෙලෙස රෝහල්ගත කෙරුණේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථායේ  සිටි 43 හැවිරිදි  පුද්ගලයෙකු සහ පොළොන්නරුව සෝමාවතිය පුදබිමේ වන්දනාවේ නිරතව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

මෑතකදී ඉතාලියේ සිට පැමිණ සිටි ඔවුන් දෙදෙනා අද පස්වරුවේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත මාරු කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව මහ රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, සෝමාවතිය පුදබිමේදී හමුවූ රෝගියා කොළඹ, නුවරඑළිය, කතරගම සහ පොලොන්නරුව ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තහවුරු වූ බවයි. 

මේ අතර කොරෝනා ආසාදනය වු බවට සැකකරන තවත් පුද්ගලයින් දෙදෙනෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරුකර යැවූ බව හලාවත මහරෝහලේ අධ්‍යක්ෂක කපිල මල්ලවාරච්චි මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස රෝහල්ගත කර තිබුණේ ඉතාලියේ සිට මෑතකදී දිවයිනට පැමිණ සිටි 27 හැවිරිදි තරුණයෙකු හා ඩුබායි  සිට පැමිණි 25 හැවිරිදි තරුණියකි.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර අදාළ ආසාදිත පුද්ගලයාගේ මත්තෙගොඩ පිහිටි නිවසට යාබදව වෙසෙන ප්‍රදේශවාසීන් නොසන්සුන් වීම හේතුවෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා වෛද්‍යවරුන්ට කරුණු පැහැදිලි කර තත්ත්වය සමතයකට පත් කිරීම අද සිදුවුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නව දත්තවලට අනුව මේ වනවිට කොරෝනා ආසාදනය වූ බවට සැකපිට පුද්ගලයින් 29 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

ඊට ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු හා විදේශිකයින් 08 දෙනෙකු අයත්ය.

ගුවන්තොටුපොළේදී නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම මෙලෙස කරුණු පැහැදිලි කළේය.

මේ අතර දකුණු කොරියාව,ඉතාලිය හා ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් 700කට වැඩි පිරිසක් මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු සිදුවන්නේ යුධ හමුදාවේ නිරෝධායනය පිළිබඳ විශේෂඥ පුහුණුවක් සහිත කර්නල් වෛද්‍ය ශවීන් සේමගේ මහතා ඇතුළු කණ්ඩායමක් යටතේයි.

යම් අයෙකු නිරෝධායනය කටයුතුවලට සහාය ලබානොදෙන්නේ නම් නිරෝධායන ආඥා පනත අනුව ඔහුට හෝ ඇයට මාස 06 සිරදඬුවමකට යටත් වීමට සිදුවනු ඇත.

මේ අතර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ස්ථාපිත කළ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාල ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට විරෝධය පා මඩකලපුව හා කාත්තන්කුඩි ප්‍රදේශවල වෙළෙඳසල් වසා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබූණි.

මෙවැනි විරෝධතා ඇතිවන පසුබිමක තමන්ට අයත් හෝටලයක් නිරෝධායනය සඳහා ස්වේච්ඡාවෙන්ම ලබාදීමට හංවැල්ල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු ඉදිරිපත්ව සිටියි.

හෝටලයේ හිමිකරු එච්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ, හංවැල්ල ප්‍රදේශයේ කාමර 15 කින් සමන්විත මෙම හෝටලය කාලීන අවශ්‍යතාව සලකා සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරන බවයි. 

කොරෝනා ව්‍යාප්තිය නිසා යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා සිටින දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම පිණිස විශේෂ දුරකතන අංකයක් විෂයභාර අමාත්‍යාංශය හඳුන්වා දී තිබේ.

මේ අතර කොළඹ කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශක ඒකක 184.97කින් අද දිනයේ පහළ ගොස් තිබේ.

මෙය පෙර දිනයට සාපේක්ෂව සීයයට 3.55ක පහළ යාමකි.