
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදි සිදු වූ තුන්වන මරණය ඊයේ (01) රාත්‍රීයේදී අයි.ඩී.එච්. රෝහලෙන් වාර්තා විය.
එම පුද්ගලයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගනු ලැබුවේ ද ඊයේ දිනයේ යි.
රෝගී තත්ත්වය වසන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මරදාන ගිනි නිවන හමුදා මූලස්ථානය අසල ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ අදාළ පුද්ගලයා පදිංචිව සිටියේය.
හැත්තෑ තුන් හැවිරිදි මියගිය පුද්ගලයා දියවැඩියාව, අධි රුධිර පීඩනය,දීර්ඝ කාලීන වකුගඩු අඩපණ වීම ආදි රෝග තත්ත්වයන්ගෙන් පෙලී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
එම ආසාදිතයාගේ දියණිය,බෑණා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාද වෛරසය වැළදී ඇතැයි යන සැකය මත ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරීවත්තගේ මහතා පවසයි.
මේ අතර අදාල රෝගියා ජීවත් වූ නිවාස සංකීර්ණයේ සිටින පුද්ගලයින් දෙදහසක පමණ පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.





















































