
නව කොරෝනා ව්‍යාප්තියේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අමෙරිකාවෙන්, වෛරස ආසාදිතයින් 163,479ක් වාර්තා වී ඇති අතර ගතවූ දිනයේදී පමණක් එරටින් හමුවූ ආසාදිතයින්ගේ ගණන විසි දහසකට ආසන්න විය.
එමෙන්ම ඊයේ දිනයේදී පමණක් එරටින් මරණ 565ක් වාර්තා වුණේ, සමස්ත මරණ ගණන 3,148ක් දක්වා ඉහළ දමමින්.
මෙහි ඇති විශේෂිතම කරුණ වන්නේ, දින තුනක් තුළ එරට මරණ ගණන දෙගුණයක් බවට පත්වීමයි.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, වෛරසයට මුහුණදීමට අමෙරිකාව හොඳ සූදානමකින් පසුවන බවයි.
ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී යොදාගන්නා ස්වසන ආධාරක විශාල ප්‍රමාණයක් අමෙරිකාව සතු බවත්, එම උපකරණ නිෂ්පාදනය සදහා ආයතන 10ක් රජය සමඟින් එකඟවී සිටින බවත්, ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම ලොව සෑම සෞඛ්‍ය පද්ධතියක්ම පරාජය කරමින් මිලියන ගණනින් අමෙරිකානුවන් නව කොරෝනා පරික්ෂාවට ලක්කිරීමට අමෙරිකාව සමත්ව ඇති බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
කෙසේ නමුත් වෛරස ව්‍යාප්තියෙන් වැඩි බලපෑමකට ලක්ව ඇති නිව්යෝර්ක් නගරයෙන් පමණක් මරණ 914ක් සහ ආසාදිතයින් 38,000ක් වාර්තාවී තිබේ.
නගරයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සදහා අමෙරිකානු නාවික රෝහල් නෞකාවක් පිටත්කර යැවීමට රජය කටයුතු කළේ ඉන් පසුවයි.
කෙසේ නමුත් මේ කිසිවක් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙන නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටින්නේ, හැකිතරම් සිය පාලන ප්‍රදේශය වෙත සෞඛ්‍යාධාර යොමුකරන ලෙසයි.





















































