බෝයිං 737 මැක්ස් ගැන බලධාරීන්ගෙන් ඉල්ලීමක්
සයුරෙන් එතෙර

බෝයිං 737 මැක්ස් ගැන බලධාරීන්ගෙන් ඉල්ලීමක්

September 11, 2019   04:17 pm


මගීන් එකසිය පනස් හත් දෙනෙකුට මරු කැඳවූ ඉතියෝපියා ගුවන් අනතුර සිදුවී ඊයේ දිනට මාස හයක් සම්පූර්ණ විය.

ඒ නිමිත්තෙන් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී සැමරුම් උත්සවයක් පවත්වා තිබේ.

ඉකුත් සැප්තැම්බර් 10වන දා ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර ආසන්නයේදී බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානයක් කඩාවැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් එකසිය පනස් හත් දෙනෙක් මියගියේය.

ඊට පෙර පසුගිය ඔක්තෝබරයේදී ඉන්දුනීසියාවේදීද බෝයිං 737 මැක්ස් වර්ගයේ යානයක් අනතුරට පත්වූ අතර එම අනතුරු දෙක හේතුවෙන් බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා පියාසර කරවීම අත්හිටුවීමටත් පියවර ගත්තේය.

අනතුරු දෙකටම මුල්වූ ගුවන් යානා වර්ගයේ දෝෂයක් පවතින බවයි විමර්ශනවලින් පසුව හෙලි වුණේ.

ඉතියෝපියාවේ ගුවන් අනතුර සිදුවී මාස 6ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අමෙරිකාවේ වොෂින්ටන් හිදී සැමරුම් උත්සවයක් පවත්වා තිබේ.

අනතුරින් විපතට පත් පවුල්වල සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියේය.

අනතුරින් මියගිය අයගේ ඥාතීන් මෙහිදී පැය දෙකක පමණ රැස්වීමක්ද පවත්වා තිබුණි.

අනතුරු දෙකකට මුල්වූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානය යළි පියාසර කරවීමට පෙර එහි ආරක්ෂිත භාවය සම්බන්ධයෙන් දැඩිව සලකා බලන ලෙස ඔවුන් එහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.