
අනුමත මිලට වඩා වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළඳ නියෝජිතයින් 200 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් වැඩි කළ තිරිඟු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම විසින් දිවයිනේ සියලු තිරිඟු පිටි අලෙවි ඒජන්තවරු වෙත දැනුම් දි තිබේ.
ඉකුත් 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝවක මිල රු. 5.50 කින් ඉහළ නැංවෙන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් තීරණය කළේය.
ඒ අනුව වෙළෙඳපොළේ රුපියල් 90ක් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක නව මිල රුපියල් 95යි ශත 50ක් ලෙස සටහන් වෙයි.
මේ හේතුවෙන් ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 02 කින් මෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනද ඉහළ නැංවීමට එම සංගම් තීරණය කළේය.
කෙසේ වෙතත් අදාල තිරිගු පිටි සමාගම් මිල වැඩි කිරීම පිළීබඳ තම අධිකාරිය දැනුවත් නොකිරීම හේතුවෙන් නැවත මිල පහළ දමන ලෙස මෙන්ම එසේ නොමැති වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේය.
කෙසේ වෙතත් ප්‍රිමා සමාගම විසින් අද සිය අලෙවි ඒජන්තවරුන් වෙත දැනුම් දි ඇත්තේ වැඩි කළ තිරිඟු පිටි මිල කිසිසේත් අඩු නොකරන බවයි.
මේ අතර අප කළ විමසීමකදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඔවුන් ගතවු දින කිහිපය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදි අනුමත මිලට වඩා වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළඳ නියෝජිතයින් 200 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වු බවයි.
ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට නියමිත බව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේය.





















































