ලැව්ගින්නකින් දැවීයන ග්‍රෑන් කැනරියා දිවයින
සයුරෙන් එතෙර

ලැව්ගින්නකින් දැවීයන ග්‍රෑන් කැනරියා දිවයින

August 13, 2019   11:08 am

ස්පාඤ්ඤයේ ග්‍රැන් කැනරියා දිවයිනේ පැතිර යන ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයන් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබේ.

ගින්න මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි එරට වාර්තා සඳහන් කළේය.

ග්‍රැන් කැනරියා දිවයිනේ පැතිර යන ප්‍රචණ්ඩ ලැව් ගින්න හටගෙන තිබුණේ පුද්ගලයෙක් විසින් නොසැලකිලිමත් ලෙස යකඩ පෑස්සුම් උපකරණයක් භාවිත කිරීමේදීයි.

ගින්නට හසුවීමෙන් මේ වන විටත් විශාල භූමි ප්‍රදේශයක් දැවී විනාශ වී තිබේ.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් ගින්න දැඩිව ව්‍යාප්තවී ගොස් ඇති බවයි බලධාරීන් පවසයි.

අදාළ දිවයිනේ පිහිටි ජාතික වනෝද්‍යානයක් හා සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය කලාපයක් වෙතද ලැව් ගින්න පැතිරගොස් තිබේ.

ගින්න පැතිරයන ප්‍රදේශයේ වෙසෙන බොහෝ පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් තවත් බොහෝ පිරිසක් නිවෙස් වලින් ඉවත් කිරීමටද සිදුවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර ගින්න පැතිරයාම පාලනය කිරීම සඳහා ගිනි නිවීම් භටයින් යුහුසුළුව කටයුතු කරමින් සිටින අතර ගුවන් මගින් ගිනි නිවීමේ මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.