නූතනවාදී වහල් සේවය අවසන් කිරීමට කැපවිය යුතුයි-තෙරේසා
සයුරෙන් එතෙර

නූතනවාදී වහල් සේවය අවසන් කිරීමට කැපවිය යුතුයි-තෙරේසා

June 12, 2019   11:47 am

නවතම මුහුණුවරකින් ක්‍රියාත්මක වන නූතනවාදී වහල් සේවය අවසන් කිරීමට කැපවීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසයි.

නව මුහුණුවරකින් පැමිණෙන නූතනවාදී වහල් සේවය පිටුදැකීම සඳහා කැපවී කටයුතු කළ යුතු බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අවධාරණය කර ඇත.

ඇය මේ බව සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධාන සමුළුව අමතමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිනිය පැවසුවේ ලොව පුරා මිලියන 40කට අධික සේවකයන් පිරිසක් වහලුන් මෙන් සේවයේ නිරතවන බවයි.

යෝජිත පරිදි 2030 වසර වන විට නූතනවාදී ස්වරූපයේ වහල් සේවය අවසන් කිරීමට නම් වාචිකව මෙන්ම ප්‍රායෝගිකවද කටයුතු කළ යුතු බව ඇය තවදුරටත් පැවසුවේය.

අප්‍රිකාවේ ගොවිබිම්වල වහලුන් මෙන් සේවයේ නිරත දරුවන් වෙනුවෙන් යුරෝ මිලියන 10ක් වැය කරමින් සිදුකිරීමට නියමිත ව්‍යාපෘතියක් පිළිබදවත් මෙහිදී අගමැතිනී තෙරේසා මේ අනාවරණය කළේය.

ඊට බ්‍රිතාන්‍යෙය් ද කැපීපෙනෙන මැදිහත්වීමක් සිදුවිය යුතු බව ඇය පවසයි.