සාහසික වෙඩි පහරින් නීති සම්පාදකයෙක් මරුට
සයුරෙන් එතෙර

සාහසික වෙඩි පහරින් නීති සම්පාදකයෙක් මරුට

May 14, 2019   06:39 pm

මාෆියා ක්‍රියාකාරකම් බහුල ආර්ජන්ටිනාවේදී සාහසික වෙඩි පහරින් තුවාල ලබා රෝහල්ගත කළ නීති සම්පාදකයා මියගොස් තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කෙරුණු එරට නීති සම්පාදක හෙක්ටර් ඔලිවාරෙස් මියගොස් තිබේ.

ප්‍රහාරයට මාෆියා කල්ලියක් වගකිව යුතු බව ආර්ජන්ටිනා පුවත් වාර්තා කළේය.

සිය මිතුරෙක් සමගින් පාගමනින් යමින් සිටියදී ඔලිවාරෙස් වෙඩි ප්‍රහාරයට ලක්වූ අතර ඒ අවස්ථාවේදී ඔහු සමගින් සිටි මිතුරා එම ස්ථානයේදීම මිය ගියේය.

මෝටර් රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙක් විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කළ අතර වෙඩි වැදීමෙන් පසුවත් දේශපාලනඥයා පියවි සිහියෙන් යුතුව මාර්ගයේ ගමන්කරනු දක්නට ලැබුණා.

අසළ සිටි පිරිස් පැමිණ ඔහු රෝහල්ගත කෙරුණද අධික රුධිරවහනය හේතුවෙන් බරපතළ තත්ත්වයේ  පසුවූ ඔලිවාරෙස් පසුව මිය ගියේය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මාෆියා කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් එක් අයෙක් උරුගුවේ සිට පැමිණි අයෙක් බවට ද සඳහන් වෙයි.

ප්‍රහාරය යම් දේශපාලන පළිගැනීමක් මත නොව පෞද්ගලික කරුණක් මත සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාසය කරයි.

සිදුවීම සම්බන්ධයෙන්  විමර්ශන ක්‍රියාත්මකයි.