
ලොවට විශාල අභිරහසක් ඉතිරි කරමින් මැලේසියාවේ MH 370 ගුවන් යානය අතුරුදන් වී අද (08) දිනට වර්ෂ 5ක් සම්පූර්ණ වෙයි.
එම සිදුවීමෙන් අතුරුදන්වූවන් නැවත පැමිණේයැයි අපෙක්ෂාවෙන් ඔවුන්ගේ ඥාතීන් තවමත් පසුවෙයි.
මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං නගරය බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වුණේ 2014 වර්ෂයේ මාර්තු 08වන දිනය.
යානය හෝ එහි සිටි මඟීන් පිළිබඳව කිසියම් හෝ තොරතුරක් සොයා මැලේසියාව, චීනය සහ ඔස්ට්‍රේලියාව එක්ව වර්ග කිලෝමීටර් එක් ලක්ෂ විසි දහසක මුහුදු ප්‍රදේශයක සෝදිසි මෙහෙයුමක් සිදු කළේය.
එම පරීක්ෂණ වලින්ද මෙම අතුරුදන්වීම පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට හැකිවුණේ නැත.
අදාළ ගුවන් යානයේ බවට සැක සිතිය හැකි කොටස් කිහිපයක් පමණක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වුණේ ලොව ප්‍රබලම ගුවන් යානා අභිරහස ලොවට ඉතිරි කරමිනි.
පර්යේෂකයින් පවසන අන්දමට අතුරුදන් යානයේ සම්ප්‍රේශක ප්‍රතිචාරකය කිසියම් පුද්ගලයෙකු විසින් හිතාමතා විසන්ධි කර තිබේ.
මෙම අතුරුදන්වීම පිටුපස අදාළ යානයේ නියමුවා සිටින බවට ඇතැම් වාර්තා පල වුවත් ඒ බව නිශ්චිතව තහවුරුවී නැත.
මේ අතරතුර සෝදිසි මෙහෙයුම් වලින් ඔස්ට්‍රේලියාව ඉවත් වූ අතර ඉකුත් වර්ෂයේදී එම මෙහෙයුම අවසන් කිරීමට මැලේසියාව තීරණය කළේය.
ඒ MH 370 යානය හෝ එහි ගමන්ගත් මගීන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් සොයාගැනීමට නොහැකිවීම හේතුවෙනි.
කෙසේ නමුත් යානය සොයා යළි මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සලකා බලනබව මැලේසියානු බලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය.
අදාළ යානයේ සිටි මගීන්ගේ ඥාතීන් තවමත් විශ්වාස කරන්නේ යානය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට හැකි වනු ඇති බවය.
එමෙන්ම සිය හිතමිතුරන් යළි තමා වෙත පැමිණේයැයි යන්න ඇතැමුන් දැඩිව විශ්වාස කරයි.







































