
රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් (1,88,50,000) ක් වටිනා රන් බිස්කට් 29 ක් , ගුවන් තොටුපොළ මගීන්ගේ
භාණ්ඩ තබාගෙන තල්ලු කරගෙන යෑමට ඇති ට්‍රොලියක යට පැත්තේ අලවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට වීමට සුදානම් වූ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද(16) උදෑසන රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන්ගෙන් එක් අයෙකු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු වන අතර, අනෙක් පුද්ගලයා 43 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොවුන් ගුවන් මඟින් ඩුබායි වෙත ගොස් භාණ්ඩ රැගෙන එන ව්‍යාපාරිකයන් බව සඳහන් වෙයි.
ඔවුන් අද උදෑසන 7.30 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි පර්යන්ත ගොඩනැගිල්ල තුළ දී , මෙම රන් බිස්කට් මෙම ට්‍රොලියෙහි යට පැත්තේ අලවා ගෙන තිබූ බව රේගුව විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙහි කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 900 ක් බර රන් බිස්කට් තිබූ බව රේගුව ප්‍රකාශ කරයි.
කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සපයන ලද තොරතුරක් මත රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර , ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ජගත් ඔබේසේකර , එස්.පී.කිරිවත්තුඩුව, රේගු අධිකාරීවරුන් වන ඩී.ඩබ්ලිව්.කේ.විජේතුංග, ඒ.එන්.ජේම්ස් , ජී.එම්.බී.ගජනායක යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.



















































