
සම්මානනීය අග්‍රගණ්‍ය ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද(08) පෙරවරුවේ හදිසි රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ඒ මහතා මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර 1947 මැයි 6 දින උපත ලැබූ ඒ මහතා මිය යන විට 69 වන වියේ පසු වුණි.
1966 වසරේදී විදුර දිය වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු මනමේ, සිංහබාහු, මහාසාර, කපුවා කපෝති, රත්නාවලී, නරිබෑණා, ආනන්ද ජවනිකා, ඇතුළු ප්‍රධාන වේදිකා නාට්‍ය 15 ක මෙන්ම වෘෂභ රාජ, කුස පබාවතී ආදී වේදිකා නාට්‍ය 40කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත.
එමෙන්ම සුබ සහ යස, තාරාවෝ ඉගිලෙති, රන්කඳ, වහලක් නැති ගෙයක්, කෝන්තරේ, සැරදේ සීතා, කකුල් හතරේ ඉලංදාරියා, ඒකාධිපති වැනි ප්‍රවීණ නාට්‍ය වේදීන් අධ්‍යක්ෂණය කළ නාට්‍යවල මෙන්ම මෙදා පරපුරේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය බොහොමයකටද ඒ මහතා රංගනයෙන් දායක වී ඇත.
රංගන ශිල්පියකු, නිවේදකයකු හා ගායකයකු ලෙස ද කටයුතු කළ ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානිගේ සැමියා විය.
එමෙන්ම ඔහු දෙදරු පියෙකි.
පුංචි පහේ මං වැනි වැඩසටහන් මගින් ඔහු නිසඟ දක්ෂතා විදහා පෑවේය.
මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, සිකුරු හතේ, සුහද කොකා වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

















































