
රාජපක්ෂ පවුලේ සාමාජිකයින් විසින් පිටරටවල සඟවා ඇති වත්කම බිලියන 18ක් පමණ වන බව ඒ සම්බන්ධයෙන් සොයාබලන බුද්ධි අංශ අනාවරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ රාජපක්ෂ පවුල විසින් සඟවා ඇති බව කියන වත්කම් සොයා ගැනීම සඳහා විදේශ රටවල් 4ක් සහය ලබාදෙන බවයි.
එම රටවල බුද්ධි සේවා දැනට අනුමාන කර ඇති පරිදි රාජපක්ෂ පවුල සතු වත්කම බිලියන 18ක් පමණ වන බවත්, එතරම් මුදලක් ලංකාවේ අර්ථ සාධක අරමුදලේ ද නැති බවත්, සමරවීර මහතා පැවසීය.
බැංකුවකට ගිහින් සල්ලි ගන්නවා වගේ මෙය එකවර කළ නොහැකි බවත්, මේ සඳහා දීර්ඝ කාලයක් යන බවත්, පැවසූ මංගල සමරවීර මහතා ඒකාධිපති පාලනයක් ගෙන ගිය ඇතැම් නායකයින්ගේ විදේශ රටවල සතු වත්කම් තවදුරටත් එම රටවල් විසින් සොයන බවත් කියා සිටියේය.
මොහොමඩ් ගඩාෆීට ඩොලර් බිලියන 80ක වත්කම් පිටරට තියෙනවා කියුවත්, දැනට සොයාගෙන ඇත්තේ බිලියන 3.4ක් බවද, හොස්නි මොහොමඩ් සතු බව කියූ ඩොලර් බිලියන 700න් දැනට සොයාගෙන ඇත්තේ ඩොලර් මිලියන 800ක් බවද, ටියුනිසියාවේ බෙස්ලානි සතු බව කියූ ඩොලර් බිලියන 4න් දැනට සොයාගෙන ඇත්තේ ඩොලර් මිලියන 69ක් බවද ඒ මහතා පෙන්වාදුන්නේය.
ඒ අනූව මෙය දීර්ඝ ක්‍රියාවලියක් බවත්, වංචනිකයින්ට දඬුවම් දෙන්නා එපා යැයි ජනතාව නොකියන බවත්, ඔවුන් කියන්නේ දඬුවම් දිය යුතු බවද ප්‍රශ්නය වී ඇත්තේ මේවා සොයාගැනීමේදී ප්‍රමාද සිදුවීම් බවද ඔහු පැවසීය.
මේ අතර පාර්ලිමේන්තුවේදී ඊයේ සිදුවූ මෛත්‍රී - මහින්ද හමුව ගැන අදහස් දක්වමින් මංගල සමරවීර මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ලැජ්ජා නැතිව අගමැතිකම ඉල්ලාගෙන බඩගාගෙන ගිහින් ඊයේ සාකච්ඡා කළ බවයි.
මහින්ද රාජපක්ෂ මහතා තමාගේ හොඳම යාළුවෙක් බවත්, එතුමා පසුගිය නොවැම්බර්වලට අවුරුදු 70ක් පිරුණු අයෙක් බවත්, දැන් ආතා කෙනෙක්ද වන නිසා දැන් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන සිටීම සුදුසු බවත්, හෙතෙම පැවසීය.
පසුගිය 8 වැනිදා මෙරට ජනතාව ජයග්‍රහණය කළේ අලුත් දේශපාලන සංස්කෘතියක් බවත්, පැවැති ඒකාධිපති, හොර මැරකම් සංස්කෘතිය පැරදීමට නිදහසින් පසු වැඩිම සංඛ්‍යාවක් ඡන්දය භාවිතා කළ බවත්, අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
පසුගිය ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කෝටි ගණනක් විනාශ කළ බවද, දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට සියලු ජනකොටස් නියෝජනය කරන නායකයා බවට පත්වී ඇති බවද, ඔහු පැවසීය.
දින 100 සාර්ථකව අවසන් කළ බවත්, 19 වැනි සංශෝධනය එහි හදවත බවත්, විධායක ජනාධිපති ක්‍රමය කියූ පරිදිම අහෝසි කළ නොහැකි වූයේ අධිකරණය දුන් තීන්දු අනූව එයට හිස නමා කටයුතු කිරීම නිසා බවත්, සමරවීර මහතා කීවේය.
ඉදිරි මැතිවරණයෙන් පසු මීට පෙර පැවසූ පරිදි මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරන බවද පැවසූ ඒ මහතා ඉකුත් පාලන සමයේදී ශ්‍රී ලංකාව මිනීමරුවන්ගේ දේශයක් වී අපි ජාත්‍යන්තරයේ හුදෙකලා වී සිටි බවද පැවසීය.
කෙසේ වුවද දැන් මහින්දගේ අවතාරය පාර්ලිමේන්තුව තුළත්, දේශපාලනය තුළත් හොල්මන් කරන බවද, යහපාලනය යටතේ එතනෝල්, කුඩු ස්ත්‍රී දුෂකයින්ට, ජාවාරම්කරුවන්ට වරප්‍රසාද අහිමි වී ඔවුන්ට යහපාලනය ගැරඬියාට භූමිතෙල් මෙන් පෙනෙන්ට පටන්ගෙන ඇති බවද කියා සිටියේය.
මේ නිසා පිරිසකට ජරා දේශපාලනය යළි ආරම්භ කිරීමට උවමනා වී ඇති බවද පෙන්වාදුන් මංගල සමරවීර මහතා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පහරදීම ඊට උදාහරණයක් යැයිද පැවසීය.
පැරදිලා ගිය මහින්ද යළි අගමැති කරන්න පිරිසක් සිහින දකින බවත්, ඔහු ලෝකයේ බිහි වූ දූෂිතම නායකයෙක් බවත්, හෙතෙම එජාපය, ජෙවිපිය, දෙමළ ජාතික සන්ධානය ද කඩා දැන් ශ්‍රීලනිපය කඩන්න හදන බවත්, පෙන්වාදුන්නේය.
ඉදිරි මැතිවරණයේදී අපේ නායකයාම යළි අගමැති වන බවත්, අගමැතිකම පිනට ගත් බව කියන ඩිලාන් පෙරේරා, මෛත්‍රී ආණ්ඩුවෙන් ඇමතිකමක් ද ගෙන පියාට ආණ්ඩුකාර තනතුරක් ද ලබා ගත් බවත්, ඒ අනූව පින් ඇමති කවුදැයි කණ්ණාඩියෙන් බලාගත යුතු බවද හෙතෙම කීවේය.
රත්තරන්ලා, ඩිලාන්ලා කෑ ගැහුවාට මේ රටේ වංචා දූෂණ පිටුපස ඉන්නේ රාජපක්ෂ පවුල බවද,
මෛත්‍රීපාල සිරිසේන දැන් මුළු ලෝකයේම ජනාදරයට පාත්‍ර වී ඇති බවද, ලෝකයේම පිළිගන්න අගමැතිවරයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ කාලයක් තිස්සේ ලෝක නායකයින් අඳුරන කෙනෙක් බවද මංගල සමරවීර මහතා පැවසීය.
හැකිතාක් ඉක්මනින් මැතිවරණයකට ගොස් මහත්වරුන් බුද්ධිමතුන් වැඩි කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු බවද හෙතෙම එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

















































