සෝමවංශ අමරසිංහ පක්ෂය හැරයයි - නව පක්ෂයකින් කරළියට එයි!

සෝමවංශ අමරසිංහ පක්ෂය හැරයයි - නව පක්ෂයකින් කරළියට එයි!

April 16, 2015   05:00 pm

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ති‍‍බේ.

පැලවත්ත ප්‍රදේශයේ අද(16)පස්වරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කර ඇත.

මහජනතාව දිනාගැනීමට තිබු එකම පක්ෂය ජනතා විමුත්ති පෙරමුණ බවත්, නමුත් එය දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වු බවත්, ඒ මහතා එහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් තමන් විසින් නව පක්ෂයක් බිහිකිරීමට කටයතු කරන බවද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.

එම මාධ්‍ය හමුව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී  අමරසිංහ මහතා විසින් වි‍ජිත හේරත් මහතාට එම ස්ථානයෙන් පිටතට යන ලෙස පවසා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

පක්ෂයක් වශයෙන් තමා ජ.වි.පෙ. තෝරා ගන්නා ලද්දේ අනෙකුත් පක්ෂ නොසලකා හරිමින් බවත්, ජ.වි.පෙ. හැර මෙරටේ සමාජවාදය බිහිකිරීමට වෙනත් කිසිදු පක්ෂයක් නොමැති බවත්, ඒ මහතා එහිදී අවධාරණය කර සිටියේය.

එසේම ජ.වි.පෙ. තේරුම් නොගන්නා ප්‍රශ්න කිහිපයක් ඇති බවත්, එය ඉක්මනින් වටහා ගතහොත් එම පක්ෂයට හොඳ සහ ඉක්මන් ගමනක් ඇති බවත්,එහිදි හෙතෙම පැවසුවේය.

නමුත් පක්ෂයට ජයග්‍රහණය කරා යෑමට ඇති පහසු මාර්ගය සහ  උපක්‍රම මේ වන විට අත්හරිමින් සිටින බවත්, එම වරද ජ.වි.පෙ. ඉක්මනින්ම සකසා ගත යුතු බවත් අමරසිංහ මහතා අවධාරණය කළේය.

 එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ රටට අවශ්‍යම පක්ෂයක් බවට ජ.වි.පෙ. පැවතියද එය පක්ෂය විසින් ගොඩ නොගන්නා බවයි.

 කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ ජ.වි.පෙ. සෝමවංශ අමරසිංහ මහතාගේ තීරණයට එකඟ නොවන බවත්, තවදුරටත් ඒ මහතාව පක්ෂයේ රඳවා ගැනීමට උත්සහ කරන බවත්ය.

 ඡායා රූ - ලංකාදීප