
සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයකට පොලිසිය ඊයේ එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරය හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම උද්ඝෝෂණය සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සංවිධාන කර තිබූ බවයි.
ඉකුත් ආණ්ඩුව ද මෙවැනි ශිෂ්‍ය මර්දනයන් සිදුකළ බව ජනතා විමුක්ති පෙරමුණ සිහිපත් කරයි.
පසුගිය ජනවාරි 8 වෙනිදා ජනතාව සිය ඡන්දය ප‍්‍රකාශ කළේ එහි වෙනසක් අපේක්ෂා කරමින් බවත්, එසේ තිබියදී වත්මන් ආණ්ඩුව ද ශිෂ්‍ය මර්දනය සිදුකිරීම කනගාටුදායක බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.
මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල විරෝධතාවයට එල්ල වු ප්‍රහාරයට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් අද උද්ඝෝෂණයක නිරත වුණි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලහ මංසන්ධියේ දී උද්ඝෝෂණයේ නිරත වු අතර ඔවුන් පැයක පමණ කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
උද්ඝෝෂණය අතරවාරයේ අදහස් දැක්වු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත අරුණ ශාන්ත සඳහන් කළේ ආණ්ඩුව විසින් සිසුන්ට මිලේච්ඡ ලෙස පහරදීම හෙළාදකින බවයි.
මේ අතර උද්ඝෝෂණය පැවති අතර වාරයේ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමීමට පොලීසිය පියවර ගත් අතර එමගින් ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ සිය සංදේශය භාරදීම සඳහා සිසුන් පස්දෙනෙකුට අගමැති කාර්යාලයට පැමිණීමට ඉඩ ලබාදී තිබියදී ඔවුන් පොලීසිය සමග ගැටුමක් ඇති කර ගත් බවයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ එම නිවේදනය පහත පරිදිය.



















































