
කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 16 කණුව අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
අද (29) අළුයම එම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේය.
අධිවේගී මාර්ගයේ ගමන්කළ ලොරි රථයක ටයරයේ ඇති වූ ආපදා තත්ත්වයක් හේතුවෙන් මාර්ගය අයිනේ නවතා අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත.
එම අවස්ථාවේදී එම මාර්ගයේ ධාවනය කළ තවත් ලොරි රථයක් නවතා තිබූ ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අනතුරින් එම රථයේ රියදුරා ලොරි රථයෙන් විසිවී මාර්ගයට ඇදවැටීමෙන් මියගොස් ඇති අතර ලොරි රථයේ වම්පස අසුනේ ගමන් කළ හිමිකරු ලොරිය ගිනිගැනීම හේතුවෙන් පිළිස්සී මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් නවතා තිබූ ලොරි රථයේ රියදුරු සහ රිය සහායක අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
මේ අතර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා විට වාහනයක යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් රථය මාර්ගය අසල නවතා 1969 අධිවේගී ආපදා අංශය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා රියදුරන්ට දැනුම් දෙයි.
ආපදා ඒකකයේ නිළධාරින් එම ස්ථානයට පැමිණ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු රථයේ නඩත්තු කටයුතු සිදුකළ යුතු බව මාධ්‍ය ප්‍රකාශකරයා වැඩිදුරටත් පැවසුවේය.

















































