
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය දෙසැම්බර් මාසයේ දී සියයට 14.0 දක්වා ඉහළගොස් තිබේ.
ඒ 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 11.1හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 14.0 දක්වා ඉහළ නංවමිනි.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2 හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.0 දක්වා ඉහළ ගොස් ඇත.
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම් හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 16.9 හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2 හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගොස් තිබුණි.
2021 දෙසැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.68ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 3.0කින් සහ සියයට 0.68කින් ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇත.
ඒ අනුව, 2021 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල් සහ අමුමිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල් සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙයි.
තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 8.8 හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 10.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 5.5 දක්වා ඉහළ ගොස් ඇත.

















































