
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම් භාරගනිමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය.
ලොහාන් රත්වත්තේ මහතා සිය ඉල්ලා අස්වීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා එය පිළිගෙන තිබේ.
කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරයා ඔහු දරමින් සිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යධූරයේ තවදුරටත් කටයුතු කරනු ඇති.
මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු මහතා පත්කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයකු කොට කලිසමකින් සැරසී බීමත්ව වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇති බවත්, සුරූපිනියක් හා තවත් දෙදෙනකු සමඟ එලෙස එහි ගොස් ඇති බවත් ඉකුත් සඳුදා මාධ්‍ය පළමුවරට වාර්තා කළේය.
එවන් පසුබිමක එම රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 12 වැනිදා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයටද බීමත්ව ඇතුළු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා එහි සිටි එල්.ටී.ටී.ඊ සැකකරුවන් රඳවා ඇති වාට්ටුව වෙත ගොස් ඉන් දෙදෙනෙකු දණගස්වා ඔවුන්ගේ හිසට ගිනිඅවියක් තබා තර්ජනය කර ඇති බවද වාර්තා විය.
මේ අතර, රාජ්‍ය අමාත්‍යවරයා වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති වූ සිද්ධියට සම්බන්ධ බව කියන කාන්තාව රූ රැජිනක් නොවන බව වාර්තා වේ.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් විපක්ෂයෙන්ද විවේචන එල්ල වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ අදාළ අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.
එම සිද්ධිය ජාත්‍යන්තරයේ අවධානයට ද ලක්වී තිබූ අතර එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නිත්‍ය නියෝජිත හැනා සින්ගර් සිය ට්විටර් ගිණුමේ ඒ පිළිබඳ සටහනක් තබා තිබුණි.
මෙරට තුළ අත්අඩංගුවේ පසුවන්නන් සියලුදෙනාගේ හිමිකම් සුරැකීමට පෙනීසිටින අතර සිරකරුවන්ට පීඩා පැමිණවීම තරයේ හෙළාදකින බව එහි සඳහන් වේ.
මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව හෙට (16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකරන බවය.





















































