
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කිරීමට සිදුවෙතැයි පැවසෙන ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන “කෲඩියා සිලනිකා“ හෙවත් පඬු කරඳ ගස ආරක්ෂා කිරීමේ අරමුණින් මහා සංඝරත්නය අද එහි වැඩමකර සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා සාංඝික දේපලක් බවට පත්කළහ.
මේ සඳහා "ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු සුරකීමේ සංවිධානයේ සංඝයා වහන්සේ පිරිසක් ඊට එක්වූහ.
ලෝකයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව "රතු දත්ත පොතට" පවා ඇතුළත් වූ මෙරටට අවේණික පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ ගස පිළිබඳව මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ, දාරළුව ප්‍රදේශයේ වන ලැහැබකින් හමුවූ එම ගස වෙනත් ස්ථානයක රෝපණය කිරීමට සූදානම්වීමත් සමග පරිසරවේදීන්ගෙන් ඊට විරෝධය එල්ල වුණි.



















































