
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.
මේ වන විටත් ඔහුගෙන් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා විසින් හරස් ප්‍රශ්න විමසමින් සිටින බව වාර්තා වේ.
මේ අතර, පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් ජනාධිපති කොමිසම ඊයේ (23) පැය 13 සාක්ෂි විමසීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ ඊයේ පළමු වරට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පෙරවරු 10.00ට පමණ කොමිසමට පැමිණියේය.
සයින්දමරුදු පිපිරීමෙන් දිවි ගලවාගත් ඇය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි අතර රැඳවුම් නියෝගයේ කාලසීමාව අවසන් වීම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන මස 04 වැනිදා තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පසුගිය 22වනදා නියෝග කළේය.
පසුව සැකකාරිය ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කළ අතර ඒ අනුව ඇය බන්ධනාගාර නිලධාරින් විසින් කොමිසම වෙත ඊයේ රැගෙන එනු ලැබීය.
අනතුරුව ජනාධිපති කොමිසම පෙරවරු 11.00ට පමණ ෆාතිමා හාදියාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කළේය.
කෙසේ නමුත් එම සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත කෙරුණේ නැත.
පැය 13කට අධික කාලයක් සාක්ෂි ලබා දීමෙන් පසු ෆාතිමා හාදියා අද (24) අලුයම 12.40ට පමණ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද කොමිසමෙන් පිටව ගියේය.





















































