
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.
දිවයින කලාප 4කට බෙදා ඒ අනුව අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කරන බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව, පස්වරු 6 සිට 7 දක්වාත්, පස්වරු 7 සිට රාත්‍රී 8 දක්වාත්, රාත්‍රී 8 සිට 9 දක්වා සහ රාත්‍රී 9 සිට 10 දක්වාත් විදුලිය විසන්ධි කරනු ලබයි.
පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් මෙම විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට සිදු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙ අතර, විදුලි සැපයුමේ දෛනික ඉල්ලුම අනුව අවශ්‍ය වුවහොත් පමණක් දිවා කාලයේදී ද කලාප අනුව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.
ඒ අනුව කලාප 4 ක් සඳහා පෙරවරු 10 සිට පැය එකයි මිනිත්තු 45 බැගින් පස්වරු 5.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
එනම්, පෙරවරු 10 සිට 11.45 දක්වාත්, පෙරවරු 11.45 සිට පස්වරු 1.30 දක්වාත්, පස්වරු 1.30 සිට 3.15 දක්වා සහ පස්වරු 3.15 සිට 5 දක්වාත්ය.
විදුලිය විසන්ධි කරන කාලය සහ කලාපවලට වෙන් කර ඇති ආකාරය පහත දැක්වෙන නිවේදනයේ සඳහන් වේ.
Load Shedding Schedule by Nuwani Ruwinika Vitharana on Scribd
හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් රුපියල් කෝටි 100 ක පමණ අලාභයක් ආර්ථිකයට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙරට දෛනික විදුලි අවශ්‍යතාව දහවල් කාලයේ මෙගාවොට් 2200 ක් පමණ වන අතර රාත්‍රී කාලයේ එය මෙගාවොට් 2400 දක්වා ඉහළ යයි.
ඊයේ (17) දහවල් 12.30 ට පමණ ජාතික විදුලිබල පද්ධතිය හදිසි බිඳවැටීමකට ලක් වුණේ කෙරවලපිටිය බලාගාරයට මීටර 200 ක් දුරින් පිහිටි කෙරවලපිටිය ප්‍රධාන විදුලි උපපොළේ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක ඇති වූ දෝෂයක් හේතුවෙනි.
ඒ සමඟ කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කරමින් සිටි මෙගාවොට් 135 ක පමණ ප්‍රමාණයක් විසන්ධි වී තිබේ.
එම විසන්ධිවීමත් සමඟම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ද අක්‍රිය වී ඇති අතර එමගින් පද්ධතියට එක් කරමින් තිබූ මෙගාවොට් 810 ක විදුලි ධාරිතාවද ජාතික පද්ධතියට අහිමි විය.
ඒ අනුව, අඛණ්ඩව පවත්වාගෙන යායුතු මෙගාවොට් 2200 ක් පමණ වූ විදුලි පද්ධතියෙන් මෙගාවොට් 945 ක් එනම් සියයට 43 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වීම, ඊයේ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමට හේතු වී තිබේ.
https://youtu.be/WfX49vVOtI8






































